නේපාල මරණ ගණන ඉහලට;ස්වේච්ඡාවෙන් සහන සැපයීමට කැමතිනම් දැනුම් දෙන්න

11012906_714361305340019_6166350710951406140_n

නේපාලයේ සිදුවු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ලගයින්ගේ මළ සිරුරු 1900 අධික ප්‍රමාණයක් හමුවී තිබේ.

ඊයේ පස්වරුවේ රික්ටර් මාපකයේ 7.9 භූ චලනයක් නේපාලයට ඇති විය.

අදාළ භූ චලනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල පිරිසක් අවතැන් වී ඇති බවත්, නවතම විදේශ වාර්තා අනුව 1900 ට අධික පිරිසක්  මියගොස් ඇති බවත් සඳහන්ය.

නේපාල  වැසියන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවෙන් අද පෙරවරුවේ  සහන සේවා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.

අද උදෑසන 5.20ට පමණ පිටත් වු යානයේ යුද හමුදා නිලධාරීන් 44 දෙනෙකු සහ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු පිටත්ව ගිය බවත්,  ඔවුන් සමග වෛද්‍ය උපකරණ, ජලය , ආහාර සහ විදුලිජනක යන්ත්‍ර ඇතුළු භාණ්ඩ තොගයක් ද රැගෙන  ගොස් ඇති බවත් ඒ මහතා පැවසුවේය.

විපත්ට පත් වුවන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලධාරීන් 156 දෙනෙකු නේපාලයට යොමුකිරීමටද තීරණය කර තිබේ.

මේ අතර නේපාලයේ සිට සහන සේවා සැපයීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සහයකයන් වෙතොත් දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඒ අනුව දුරකථන අංක 071 – 2492484 මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් රුවන් ගුණවර්ධන මහතා ඇමතීමෙන් එම සත්කාර්යයන්ට දායක වීමට හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරයි.