නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update

 

 update:  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දිනයක් ඉල්ලා තිබේ.

ඒ අනුව දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්,ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත් ඔහුගේ නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෙන් ප්‍රශ්න කර ඇත්තේ වසර 7ට පමණ ඉහතදී මිහින් ලංකා ගුවන්සේවා සාමගමට අදාළව සිදුකෙරුණු  ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැවින් ඊට අදාළ සියලු තොරතුරු මේවන විට මතකයේ නැති බැවින් මෙලෙස වෙනත් දිනයක් ඉල්ලා සිටිය බව නීතිඥවරයා පැහැදිලි කළේය.

ඒ අනුව එම සිද්ධියට අදාළව සියලුම ලියකියවිලි පරීක්ෂා කර ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසුව විධිමත් ලෙස ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අල්ලස් කොමිසමට දැන්වූ බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

…………………………………………………………………..

අල්ලස් කොමිසම ඉදිරිපිට අද (23) කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් එය නොතකා ස්වාමින් වහන්සේ කිහිප නමක්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අල්ලස් කොමිසම හමුවට අද පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.

කෙසේ වුවද ඔහුව අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කර අද උද්ඝෝෂණ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

මේ අතර අද දිනයේ අල්ලස් කොමිසම ඉදිරිපිට කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝගයක් ලබාදී තිබුණි.

එසේ වුවද එම නියෝගය නොතකා මැදගොඩ අබයතිස්ස, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු ස්වාමින් වහන්සේලාද, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, රොෂාන් රණසිංහ, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර යන පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවයක නිරතව සිටී.

මේ අතර අල්ලස් කොමිසමේ කැඳවීමට අනූව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද මේවන වන විට එහි පැමිණ සිටින බව වාර්තාවෙයි.