බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.

 

JVP-logo

මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව විමර්ශන කළ කමිටුවේ සිය නිර්දේශය පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනය මෙසේය. අදාළ කමිටුව නම්කරන මොහොතේ සිටම මෙම කමිටු වාර්තාව පිළිබඳව අප ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව සෑහීමකට පත්විය හැකි විධිමත් වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි වන බවයි. මක්‌නිසාද මෙම කමිටුව තුළ මූල්‍ය වෙළෙඳපොළ උපකරණ ගනුදෙනු හැසිරීම් පිළිබඳව අත්දැකීම් ඇති කිසිවෙක්‌ නැති හෙයිනි. එම කමිටුව සිදුකළ යුත්තේ හොරාගේ අම්මාගෙන් පේන අසා හොරා සුද්ධ කිරීමත් නිදොස්‌ ලංකා බැංකුව වැරදි කරු ලෙස උපුටා දැක්‌වීමත්ය.

සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍ර මහතා ටෙන්ඩර් මණ්‌ඩලයේ නොසිටීම නිසා මෙම වංචාවට ඔහු නොමැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. මක්‌ නිසාද මිලියන 1000 ක බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කිරීමට දැන්වීම් පළකර මිලියන 10000 කින් මිලියන 5000 ක්‌ ඔහුගේ දුවගේ සහ බෑණාගේ සමාගමෙන් ලබා ගැනීම පිටුපස ඇත්තේ සැඟවිය නොහැකි රහසකි.

මෙයට පෙර කිසිදු අවස්‌ථාවක මෙම සමාගම මිලියන දහස්‌ ගණන් වලින් බැඳුම්කර සඳහා ලංසු තබා නැත. අර්ජුන් මහේන්ද්‍ර මහ බැංකු අධිපති වූ පසු පළමුව සිදුකරන ලද්දේ ඔහුගේ දුවගේ සහ බෑණාගේ සමාගමෙන් ඉහළ පොලියකට රුපියල් මිලියන 10000 ක්‌ ලබා ගැනීමය. ඒ සඳහා වූ ලංසු තැබීම සිදුකර ඇත්තේ මෙම මුදල් ලබාගැනීම සම්බන්ධව නිශ්චිත තොරතුරු එම සමාගමට ලැබීමෙන් පසුවය. එම නිසා මෙම ප්‍රොඅඩාව තවදුරටත් සිදු නොකර වහාම මූල්‍ය වෙළෙඳ පොළ ගනුදෙනු පිළිබඳව අත්දැකීම් ඇති ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක්‌ හරහා මෙම වංචාව සඳහා දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් 1953 පසුව විදේශිකයකු වන සිංගප්පූරු අර්ජුන් මහේන්ද්‍ර මහතා අපේ රටේ මුදල් නෝට්‌ටුවේද අත්සන් තැබීම සිදු කර ඇතැයි ද ඊට අදාල මුදල් නෝට්‌ටු මේ වන විට මුද්‍රණය කරමින් පවතින බවද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.