පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.

Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka

විදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට  ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම මාධ්‍ය නිවේදය පහත පරිදි වෙයි.

මාධ්‍ය නිවේදනය
විදේශීය බැංකුවල රහසිගත ගිණුම්

මමත්, මාගේ බිරිඳත්, පුතුන් තිදෙනාත් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් සහිත රහසිගත හා නීති විරෝධි බැංකු ගිණුම් විදේශීය බැංකු වල පවත්වා ගෙන යන බවට ප්‍රචාරයක් වත්මන් ආණ්ඩුවේ වගකිව යුත්තන් කළක සිට ගෙන යමින් සිටී. එකී චෝදනාව කලින් කලට උපක්‍රමිකව නිකුත් කරන විවිධ පුවත් තුළින් නැවත නැවතත් අලුත් කරන ප්‍රවනතාවයක් ද ඇත. උදාහරණයක් වශයෙන් මීට සති කිහිපයකට පෙර කැබිනට් ප්‍රකාශකවරයා ලංකාවේ “ප්‍රධාන පවුලක සාමාජිකයකුට” ඩුබායි හි බැංකුවක ඩොලර් මිලියන 1,064 ක් තිබෙන බව රොයිටර් පුවත් සේවයට කියා සිටියේය. ඊට පසු සැගවුනු මුදල් සෙවීමට ඇමරිකානු හා ඉන්දියානු මුල්‍ය ඔත්තු සේවාවන් ද උදව් දෙන බවට පුවතක් පළවිය. ඊටත් පසුව අපට අසන්නට ලැබුණේ සැගවූ මුදල් සොයා ලංකාවෙන් විශේෂ කණ්ඩායමක් සීශල්ස් දූපත් වලට පිටත් කර ඇති බවයි.

කිසිවකුගේ නමක් පැහැදිලිව සදහන් නොකර ප්‍රසිද්ධියේ පළවන එවැනි පුවත්වලට අමතරව රහසිගතව, නම් සදහන් කරමින්ම, වාචිකව ගෙනයන අවලාද ව්‍යාපාරයක් ද වේ. මෑතක දී රජයේ ඉහළම පුද්ගලයකු බැහැදැකීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ද මෙම පුද්ගලයා මට ඩොලර් මිලිය හා බිලියන ගණන් සහිත රහසිගත බැංකු ගිණුම් තිබෙනවායැයි කියා ඔවුන් මට එරෙහිව පෙළගස්වා ගැනීමට උත්සාහ දරා ඇත. මෙකී පදනමක් නැති චෝදනාව දේශපාලන මෙවලමක් හැටියට මගේ විරුද්ධවාදීන් භාවිතා කරන බව පෙනෙන්නට තිබේ. මේ වකවානුවේ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම, මුදල් විසුද්ධිකරණය වැනි කාරණා ගැන සුවිශේෂ අවධානයක් පවතින නිසා ඩොලර් මිලියන ගනන් සහිත ගිණුම් අදාල රටවල ජාත්‍යන්තර හා දේශීය නියාමකවරුන්ගේ අවධානයට ලක් නොවී ක්‍රියාත්මක කළ නොහැකි බව මූල්‍ය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ඇති සියළු දෙනාම හොදින් දනී.

එම නිසා මේ කියන රහසිගත ගිණුම් සැබවින්ම තිබුනේ නම් එවායේ තොරතුරු හෙළි කිරිමට මෙතරම් කාලයක් කොහෙත්ම ගතවන්නේ නැත. මෙවැනි අභූත චෝදනා මට එල්ල කරන්නේ මගේ පුතුන්ගේ භාවිතය සදහා හෙලිකොප්ටර් මිලදී ගෙන ඇති බවත්, ඔවුන්ට ඇමරිකාවේ බකිංහෑම් මාලිගවෙන් අශ්වයන් ගෙනත් දී තිබෙන බවත් කියමින් රට වටේ ගිය අයම බව පෙන්වා දිය යුතුය. මට හෝ මගේ බිරිඳට හෝ දරුවන්ට කිසිදු විදේශීය බැංකුවක නීති විරෝධි, රහසිගත ගිණුම් නැති බව ජනතාවගේ දැනගනීම පිණිස ප්‍රකාශ කර සිටීමට මම කැමැත්තෙමි.

මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති