පාඨලීට ජනපදනමක් නැ;19 පරද්දන්නේ කොහොමද? අනුර කුමාර විමසයි.

anura-kumara-02

19 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රීලනිපයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් හෙළිවන්නේ එය සම්මත කර ගැනීමට නොදීමේ කුමන්ත්‍රණයක් යැයිද ඊට තමාගේ සම්බන්ධ‍යක් නැති නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරගල් අහුලන්නේ නැතිව එය ප්‍රකාශ කළ  යුතු බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

අද (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

මෙම සංශෝධනය ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් මස 9 – 10 දෙදිනට යොදා ගැනීමෙන් පසුව ජාතික විධායක සභාවේදී තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ 9 වැනි දින අදාළ විවාදය ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ යුතු යැයි තමන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු සිනාසුනා මිස කිසිවක් ප්‍රකාශ නොකළ බව යැයිද දිසානායක මහතා පැවසීය.

එම මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීමට දියත් කළ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට පැවරී තිබෙන කාර්යභාරය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනුවත්කළ යුතුයි. 1978 ව්‍යවස්ථාව විසින් ඇතිකරන ලද විධායක ජනාධිපති ධුරය රටේ යහපැවැත්මටත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කිරීමටත් විශාල බාධාවක් වුණා. එම නිසා විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළදා පටන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය අගයන ජනතාව විවිධ සංවිධාන, දේශපාලන පක්‍ෂ ඊට එරෙහිව ප‍්‍රබල විරෝධයක් ගොඩනැගුවා. ගතවුණු සෑම ජනාධිපතිවරණයකදීම ප‍්‍රධාන සටන්පාඨය බවට පත්වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවතාවකදී, මහින්ද රාජපක්‍ෂ දෙවතාවකදීත් මෛතී‍්‍රපාල සිරිසේන ජනවාරි 08වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දු වුණා.

චන්ද්‍රිකාට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට වුවත් ඇය කි‍්‍රයා කළේ මුළුමනින්ම ජනමතයට ප‍්‍රතිපක්‍ෂවයි. මහින්ද රාජපක්‍ෂත් කි‍්‍රයා කළේ ජනමතයට ප‍්‍රතිපක්‍ෂවයි. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාටත් ජනමතය තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පොදු පෙරමුණේ අපේක්‍ෂකයා ලෙසත් මහින්ද රාජපක්‍ෂ එජනිස අපේක්‍ෂකයා ලෙසත් මෛතී‍්‍රපාල විවිධ සංවිධානවල, විවිධ දේශපාලන පක්‍ෂවල පොදු අපේක්‍ෂකයා ලෙසත් ප‍්‍රධාන සටන්පාඨය ලෙස යොදා ගත්තේ විධායකය අහෝසි කිරීමයි. මෛතී‍්‍රට සහාය දුන් විවිධ සංවිධාන, දේශපාලන පක්‍ෂ, වෙනස්කම් තිබියදීත් එක වේදිකාවට නැග්ගේ ඒ ප‍්‍රධාන සටන් පාඨය නිසයි.

මෛතී‍්‍රට සහාය දුන් සියලූ දෙනාගේ අරමුණ විධායකය අහෝසි කිරීමයි. ඒ නිසාම මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් වගකීමක්, යුතුකමක් තිබෙනවා.

19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලූ දේට ජවිපෙ එකඟ නැහැ. නමුත් අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, යහ පැවැත්මට වැදගත් සංශෝධන කිහිපයක් එහි තිබෙනවා. ජනාධිපතිවරයා සතු විධායක බලතල සැලකිය යුතු ආකාරයෙන් කප්පාදුවට ලක් වෙනවා. ජනාධිපතිවරයාගේ සියලූ බලතල අහෝසි නොවන අතර අගමැතිවරයාටද සියලූ බලතල පැවරෙන්නේ නැහැ. ඇතැම් බලතල අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් දෙදෙනාටම අයිති නොවී අහෝසි වී යනවා. ඇතැම් බලතල ස්වාධීන කොමිෂන් සභාවලටත් පැවරෙනවා. රටේ වැදගත් පත්කිරීම් ගණනාවක් එම කොමිෂන් සභා හරහා සිදුවීමට නියමිතයි. මීට පෙර ජනාධිපතිවරයා විසින් තම අභිමතය අනුව පත්කළ අගවිනිසුරුවරයා, විගණකාධිපතිවරයා වැනි තනතුරු පත්කිරීම මුළුමනින්ම ස්වාධීන කොමිෂන් සභාවලට පැවරෙනවා. තවත් බලතල පාර්ලිමේන්තුව යටතේ ඇති විධායක කාරක සභාවටත් තවත් ප‍්‍රමාණයක් කැබිනට් මණ්ඩලයටත් අගමැතිවරයාටත්, ජනාධිපතිවරයාටත් පැවරෙනවා.  තනි පුද්ගලයෙකුට අසීමිත ලෙස පැවරී තිබූ බලතල මේ ආකාරයට බෙදී යනවා. එය රටට හොඳ නැද්ද? ඒකාධිපතිත්වය නිර්මාණයවීම වැළැක්වීමට මෙය ඉතා වැදගත්. මහින්ද රාජපක්‍ෂ, ජේ.ආර්. ඒකාධිපතියන් ලෙස හැඳින්වනු ලැබුවා. ඔවුන් ජනවරමින් බලය අරගෙන ව්‍යවස්ථාවේ බලය උපයෝගී කරගෙන ඒකාධිපතියන් වුණා. ව්‍යවස්ථාවෙන් ඒකාධිපතියන් වීමේ හැකියාව ගලවා දැමීම හිතකර නැද්ද? එවැනි කි‍්‍රයාවකට විරුද්ධ විය හැක්කේ ඒකාධිපති මානසිකත්වයෙන් පෙළෙන අයට පමණයි.
18වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත්කළ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කෙරෙන අතර ජාතික විගණන කොමිසම, සහ ප‍්‍රසම්පාදන කොමිසම අලූතින් පිහිටුවීමට නියමිතයි. ආණ්ඩුවේ මිලදී ගැනීම් රටේ ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙලා තිබෙනවා. ඒවා වංචා, දූෂණයට ප‍්‍රධාන කාරණයක් වී තිබෙනවා. එවැනි රජයේ මිලදී ගැනීම්වලට අදාල ගනුදෙනු ප‍්‍රසම්පාදන කොමිසම හරහා පරීක්‍ෂණයට භාජනය කිරීමට නියමිතයි. ඒ වගේම ආණ්ඩුවේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික විගණන කොමිසම හරහා පූර්ව විගණනයකට ලක්කිරීම සඳහා නීති සකස් කෙරෙමින් තිබෙනවා.  එම කොමිෂන් සභා පත්කිරීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට පැවරෙනවා. දේශපාලකයින්ගේ අභිමතය පරිදි සිදුකරපු එම පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවට පැවරීම රටට යහපත් නැද්ද? විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට පත්කිරීම් කළේ සෘජු දේශපාලන මැදිහැත්වීම් සහිතවයි. එම කොමිසම පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රගමනයක් නෙවෙයිද?

වසරක් ගතවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  විධායක ජනාධිපතිවරයාට බලතල තිබෙනවා. එම බලතල 19 සංශෝධනයෙන් මුළුමනින්ම අහෝසි කර තිබෙනවා. පාර්ලිමේන්තුව වසර හතර හමාරක් ගත වීමට පෙර විසුරුවා හැරීමට නොහැකි අතර වසර පහ සම්පූර්ණ වීමට පෙර ඊළඟ පාර්ලිමේන්තුව පැවැත්විය යුතුයි. පහුගිය කාලයේ දෛවඥයන්ගේ වුවමනාවට පවත්වපු මැතිවරණ මෙම සංශෝධනයෙන් කාල රාමුවකට ගේනවා. ඒ වගේම මීට පෙර අමාත්‍ය ධුර සංඛ්‍යාවේ සීමාවක් තිබුණේ නැහැ. විකාරරූපී ලෙස ඇමතිවරු පත්කළා. මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ ඇමති ධුර සංඛ්‍යාව 110 දක්වා වර්ධනය වුණා. එය රටට විශාල බරක්. ඒවගේම පරිපාලන අවුලක්. ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම දුෂ්කර වුණා.

13වැනි ව්‍යස්ථා සංශෝධනයේ කොපමණ අඩුපාඩු තිබුණත් ඉතා වැදගත් වගන්තියක් තිබුණා. පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු ඇමතිධුර සංඛ්‍යාව 5කට සීමා කළා. මෙවැනි සංශෝධනයක් කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් තිබෙන්න අවශ්‍ය නැද්ද? අපි යෝජනා කළා ඇමතිධුර 30ක් සහ නියෝජ්‍ය ඇමතිධුර 30ක්. නමුත් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු වෙලා තිබෙන්නේ ඇමති ධුර 30ක් සහ රාජ්‍ය ඇමති ධුර, නියෝජ්‍ය ඇමතිධුර 40ක් වශයෙන්. අපි ඒ සංශෝධනයට එකඟ නැහැ. නමුත්  ජනතාව දන්නවා උපරිම ඇමතිධුර සංඛ්‍යාව 70ක් කියලා. ජාතික ආණ්ඩුවකදී නම් ඇමති ධුර සංඛ්‍යාව 100ක්. එම සංශෝධනයටත් අපි කිසිසේත්ම එකඟ නැහැ. පහුගිය කාලයේ අපේ රටේ දේශපාලනය විකෘති තත්ත්වයට පත්කළේ සීමාවකින් තොරව ඇමතිධුර ලබාදීමෙන්. ජනතාවගේ ඡන්දයෙන් විපක්‍ෂයට පත්වන මන්තී‍්‍රන් ඇමතිකමක් අරගෙන ආණ්ඩුවට ගියා. එය ජනාධිපතිවරයාට තිබූ බලය නිසා ඇතිවුණු තත්ත්වයක්. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයට පත්විය නොහැකියි. මේ ආකාරයේ බලගතු ජනතාවට හිතකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන සහිත ජනතාවාදී ව්‍යවස්ථා සංශෝධනයක් තමයි 19වැනි ව්‍යවස්ථා සංශෝධනය. මීට පෙර අපේ රටේ ව්‍යවස්ථාවට සංශෝධන 18ක් ගෙනත් තිබෙනවා. එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර වුණේ 17වැනි සංශෝධනය පමණයි. 18 සංශෝධනයෙන් සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේවල් අහෝසි කරලා දැම්මා. එම නිසා 19වනි ව්‍යවස්ථා සංශෝධනය යටපත් කිරීමට කාටවත් ඉඩදිය යුතු නැහැ.

19ට එරෙහි කුමන්ත‍්‍රණ පරාජයට පත්කිරීමට අපේ රටේ ජනතාවට, මාධ්‍යවලට, දේශපාලන පක්‍ෂවලට දැඩි වගකීමක් තිබෙනවා. සමහරු බලනවා අද පුටුවේ ඉන්න අගමැති කවුද, හෙට පුටුවේ ඉන්න අගමැති කවුද කියලා. ඒ තරම් දේශපාලන නොමේරූ තත්ත්වයකින් ව්‍යවස්ථාවක් ලෙස බැලිය යුතු නැහැ. ව්‍යවස්ථා සංශෝධනයක් දෙස බැලිය යුත්තේ පොදු සාධක මතයි. එම සංශෝධනයේ අඩංගුව රටට හිතකරද අහිතකරද යන්න බැලිය යුතුයි.  එසේ නැතිව තමන්ට පුටුවේ වාඩිවිය හැකිද නැද්ද කියලා ව්‍යවස්ථා සංශෝධන ගණන් බැලීම රටකට කෙතරම් ඛේදවාචකයක්. මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනතාව විසින් සම්මත කළ යුතු එනම් ජනමත විචාරණයකින් සම්මත කළ යුතු නම් ජනතාව සමඟ එය සම්මත කරදීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ බාරගන්නවා. නමුත් මෙය සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන්.

මේ පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? 18 සංශෝධනයට පූස් පැටව් වගේ අත උස්සපු, කැසිනෝ පනත් සම්මත කරන විට පූස් පැටව් වගේ හිටපු බහුතර මන්තී‍්‍රවරු පිරිසක් ඉන්න පාර්ලිමේන්තුවක්. ඒ අයගෙන් තමයි 19 සම්මත කරගන්න වෙන්නේ. එය සම්මත කරගැනීම සඳහා විවිධ දේවල් කරන්න සිදුවුණා. හිටපු ඇමතිවරුන්ට වාහන දෙකයි, රියැදුරයි, ඉන්ධන දීමනායි දෙන්න වුණා. එතැනින් නතර නොවී ජනවරමින් ප‍්‍රතික්‍ෂෙප කළ මන්තී‍්‍රවරුන්ට ඇමතිධුර දෙන්න වුණා. ඒ ආකාරයේ කප්පම් දීලත් සම්මත කරගන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තිබෙනවා. අනුර යාපා, නිමල් සිරිපාලද සිල්වා, සිදුකරන ප‍්‍රකාශ දිහා බැලූවාම ඒක තේරෙනවා.

19 සම්මතවීම වැළැක්වීමේ අරමුණ සම්බන්ධයෙන් අනුර යාපාගේ නිමල් සිරිපාලගේ මතය අපට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේ අදහසයි. ඔහු ඒ සම්බන්ධයෙන් රටට ප‍්‍රකාශයක් කළ යුතුයි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී සෑම වේදිකාවකදීම ජනතාවට ප‍්‍රතිඥාවක් දුන්නා. ඔහුගේ වැඩපිළිවෙළින් ප‍්‍රතිඥාවක් දුන්නා. ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු දළදා මාළිගාව අභියස සිදුකළ කතාවෙන් පැහැදිළිව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කිව්වා. එසේ තිබියදී 19වැනි සංශෝධනය කැබිනට් එකට, පාර්ලිමේන්තුවට, අධිකරණයට ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා සිදුකර නැහැ. ඒ නිසා මෛතී‍්‍රපාලගේ ස්ථාවරය රටට හෙළිකළ යුතුයි. මෛතී‍්‍රපාල සිරිසේන ශී‍්‍රලනිප නායකයා ලෙස පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවා 19 සම්බන්ධයෙන් යම් මතයකට ආ යුතුයි. ඒ වගේම පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම කැඳවා ඔවුන්ගේ අදහස ලබාගත යුතුයි. නමුත් අපිට පේන එවැනි කි‍්‍රයාකාරිත්වයක් නැහැ.

චන්ද්‍රිකාත් මහින්දත් එකඟතාවය කඩලා ඉතිහාසයේ කුණු කූඩයට ගිය නායකයන් වුණා. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාත් කුණු කූඩය හිමිකරගත යුතු නැහැ. 19 සම්මත කිරීමට ඔහුගේ දායකත්වයක්  ඕනෑ. 09වැනිදා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පළමු කතාව මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි. ජාතික විධායක සභාවේදී අපි එය යෝජනා කරන විට ඔහු සිනාසුණා පමණයි. එනිසා ශී‍්‍රලනිපය මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. නැත්නම් අපිට දැනෙන්නේ මෛතී‍්‍රපාල හොර ගල් අහුලනවා කියලයි.

සමහරුන්ට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මන්තී‍්‍රකම් දෙකයි. කිසිදු ජන පදනමක් නැහැ. එවැනි කිසිදු බලයක් නැති කෙනෙක් 19 පරාජය කරනවා කියලා කියන්නේ කොහොමද? හඬ චම්පිකගේ වුණාට අත මෛතී‍්‍රපාලගේ. අත තමන්ගේ නොවෙයි නම් මෛතී‍්‍රපාල එය පැහැදිළි කළ යුතුයි. ඒ වගේම නිමල් සිරිපාලගේ, අනුර යාපාගේ හඬ නම් කිසිදු සැකයක් නැහැ එය මෛතී‍්‍රගේ අතයි. මෛතී‍්‍රපාල නිහඬ නම් යටි උගුල් අටවන්නේ ඔහු බවට සැකයක් නැහැ. අපි දේශපාලනයේ ළදරුවන් නෙවෙයි. දොරේ සද්දෙත් බෙරේ සද්දෙත් අපි හොඳින් හඳුනනවා. කුමන්ත‍්‍රණයේ මෛතී‍්‍රපාල නැත්නම් ඔහු එය කි‍්‍රයාවෙන් ඔප්පු කළ යුතුයි. දැනට සිදුවෙමින් තිබෙන දේවල් අනුව මෙම කුමන්ත‍්‍රණයේ මෛතී‍්‍රපාල සිටින බව සැකයක් නැහැ.

මොකද, 18ට පූස් පැටව් වගේ දෑත් ඔසවපු අය 19ට එරෙහිව මහ හඬක් නගන්නේ කොහොමද? අනුර යාපාගේ නිමල් සිරිපාලගේ ප‍්‍රකාශ පිටුපස වෙනත් වුවමනාවක් තිබෙනවා. ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් මේ වෙලාවේ ශී‍්‍රලනිපය බල අරගලයක ඉන්නවා. රාජපක්‍ෂ කඳවුරත් මෛතී‍්‍ර කඳවුරත් ලෙස කඳවුරු දෙකක් තිබෙනවා. මේ වෙලාවේ මුළු පක්‍ෂයම තමන් අතේ නැති නිසා මෛතී‍්‍රපාල හිතනවා විධායක බලය සීමා වුණාම පක්‍ෂයේ බලය නැතිවෙයි කියලා. අපි කියනවා මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා බිය විය යුතු නැහැ. මොකද, ඔහුගේ ධුර කාලයට අදාළව අන්තර් කාලීන විධිවිධාන යටතේ බලය පැවරෙනවා. මහින්ද අවතාරයට බිය වියයුතු නැහැ. ඒ වගේම ඉක්මන් මැතිවරණයක් ශී‍්‍රලනිපයට අවාසියි කියලා ඔවුන් කල්පනා කරනවා. ඡන්ද ක‍්‍රමය දාලා මැතිවරණය පස්සට දාන්න උත්සාහ කරනවා. එකිනෙකාගේ බල වුවමනාවට අනුව ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීම නොදීම තීරණය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට සහාය දුන්  සමහරු හිතනවා පරාජයට පත්වුණ ශී‍්‍රලනිපයෙන් ඡන්දය ඉල්ලූවොත් තමන්ට පාර්ලිමේන්තුවට එන්න බැහැ කියලා. උදාහරණයක් විදියට රාජිත ඇමතිවරයාට ශී‍්‍රලනිපයෙන් ඡන්දෙට එන්න වෙනවා. ශී‍්‍රලනිපය පරාජයට පත්වෙලා නිසා ඔහුද පරාජිතයෙක් ලෙසට තමයි මැතිවරණයට ආ යුත්තේ. එවැනි අය හිතනවා මැතිවරණය පස්සට යන එක හොඳයි කියලා චම්පික රණවකලාට අත් වෙලා තිබෙන ඉරණමත් ඒකයි. මෙවැනි විවිධාකාර වුවමනාවන් තමයි කුමන්ත‍්‍රණකාරී ලෙස එළියට ඇවිත් තිබෙන්නේ. මෙම කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සන්නේ නැතිනම් ඔවුන් ජනතා අධිකරණයට ගෙන ආ යුතුයි. එකිනෙකාගේ විකාරරූපී අදහස් නිසා 19 සම්මත කිරීම වැළැක්වූ අයට පාර්ලිමේන්තුවේ දොර වැසිය යුතුයි. එනිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම කුමන්ත‍්‍රණය වැළැක්වීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ සෑම මන්තී‍්‍රවරයෙකුගේම සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉබේට ආ එකක් නෙවෙයි. ජාතික විධායක සභාවට අනුබද්ධ ව්‍යවස්ථා අනු කමිටුවක් තිබුණා. එයට ව්‍යවස්ථා විශේෂඥයින්, දේශාපලනඥයින්, බුද්ධිමතුන් සම්බන්ධවී සිටියා. අපේ පක්‍ෂයේ විජිත හේරත්, හෙළ උරුමයේ චම්පික රණවක, රතන හාමුදරුවෝ ඇතුළු දේශපාලඥයෝ එයට සහභාගී වුණා. එනිසා 19 කියන්නේ දොරවල් ජනෙල් වහගෙන කාමරයක් ඇතුළේ හදපු එකක් නෙවෙයි. සාමූහික සාකච්ඡාවකින් ආපු එකක්. ජාතික විධායක සභාවේදී ජනාධිපතිවරයා කිව්වේ ”මටත් අවශ්‍ය මේක සම්මත කර ගැනීමටයි. ඒ සඳහා උපරිම දායකත්වය දෙනවා.” කියලා. නමුත් ජාතික විධායක සභාවේ ප‍්‍රකාශය නෙවෙයි වැදගත්. ජනාධිපතිවරයාගේ භාවිතාවයි රටට වැදගත් වෙන්නේ. ඔහුගේ පක්‍ෂයේ කණ්ඩායම 19ට ප‍්‍රතිපක්‍ෂව කරුණු දක්වනවා. එනිසා අත මෛතී‍්‍රගේ නොවන බව පැහැදිළි කළ යුත්තේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාමයි.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනයට අනු කමිටුවක් තිබෙනවා. නමුත් ජාතික හෙළ උරුමය ඒකට ආවේ නැහැ. පහුගියදා මැතිවරණ කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ලෝකයේ මැතිවරණ ක‍්‍රම පිළිබඳව විශේෂ වැඩමුළුවක් තිබුණා. ජාතික හෙළ උරුමය ඒකට ආවෙත් නැහැ. මේ තරම් මැතිවරණ ක‍්‍රමය ගැන කතා කරන නිමල් සිරිපාල ආවෙත් නැහැ. ඔවුන්ගේ භාවිතාවෙන් ඔප්පු වෙනවා ඔවුන් හැසිරෙන්නේ 19 හෙට්ටු කිරීමට බව. මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන තේරීම් කාරක සභාවට අවුරුදු 11ක් ගතවෙලත් පක්‍ෂවලට එකඟතාවයකට පැමිණීමට නොහැකිවී තිබෙනවා. එනිසා තව වසරකින් මැතිවරණ ක‍්‍රමයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකිවේ යයි විශ්වාස කළ නොහැකියි.

ජාතික විධායක සභාවේ එකඟතාවය වුණේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනයක් ගෙන ඒම සඳහා කොමිසමක් පිහිටවමු යන්නයි. ඒ වගේම මෙම මැතිවරණය අවසන් මනාප ඡන්දය ලෙස පැවැත්වීමටත් එකඟතාවකට ආවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස් කියා තිබෙනවා මැතිවරණ ක‍්‍රමයත් සංශෝධනයෙන් පසුව මැතිවරණයක් පැවැත්වීමට අවුරුද්දක කාලයක්වත් ගතවිය යුතුයි කියලා. ජනතාවට නව ඡන්ද ක‍්‍රමය ගැන අවබෝධයක් ලබාදීමට එවැනි විශාල කාලයක් අවශ්‍ය වෙනවා. එනිසා ඡන්ද ක‍්‍රමයක් ගැන දේශපාලන පක්‍ෂවලට සංකල්ප තිබුණට ඒවා කි‍්‍රයාවට නැංවීම අතිශයින් දුෂ්කරයි. ඒ දුෂ්කර බව මේ සියලූ දෙනාම දැනගෙන තමයි මෙම කුමන්ත‍්‍රණයට දායකත්වය ලබාදෙමින් ඉන්නේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගී වී සිටියේය.