UNPකාරයෝ රැවැට්ටුවට රනිල්ට අපිව රවට්ටන්න බැ;ඇමති පාඨලී කියයි (video සහිතයි)

එජාප නායකත්වයට පත්ව එජාප පිරිස් රවටා තමන්ට පමණක් බලය තබා ගැනිමට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරගත් වත්මන් අගමැතිතුමන් තමන්ද එලෙස රැවටිය හැකි බව සිතා සිටිම කණගාටුවට කරුණක් බව ආමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පලකර තිබේ.

 මෙම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆොටෝ කොපියක් බවත්,මහජන ඡන්දයෙන් තේරීපත්වුණු නායකයෙකු නාමික විධායකයක් බවට පත් කළ නොහැකි බවත් රණවක මහතා කියා සිටියේ අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ව්‍යවස්ථා සංශෝධනය ලබාදුන් පසු එහි විධායක ජනාධිපති ධූරය අහෝසිවීම සම්බන්ධයෙන් තමන් එරෙහි වූ විට එම සංශෝධනයේ මුල් පිටු 4 පමණක් වෙනස් කර ගැසට් කළ බවත් ඔහු සඳහන් කළේය.

එසේම තමාට පෙන්වන ලද ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් බවට පත් කළ බවත්,ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැබුවේ වෙනත් පිටපතක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සවස 4.00 ට ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් දී රාත්‍රී 12.00 ට ගැසට් කිරීමට යැවීමට තමන් කිසිවෙකුගේ හෝ රබර් සීල් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් පිළිබඳ තමන් කිසි විටෙකත් කතා නොකළ බවත්,කතා කරනු ලැබුවේ එහි බලතල අඩුකෙරෙන සංශෝධනයක් පිළිබඳ පමණක් බවත් හෙතෙම යළි සිහිපත් කළේය.

ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල 8ක් ඉවත්විය යුතුව ඇති බවත්, තමා විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ධූරය වෙනුවට ඒකාධිපති අගමැතිවරයෙකු ගෙන ඒමට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා 95 දී එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය 2015දී යළි සිදුකරන බවත්,ඒ අනුව වසර 20ක් පුරා ඔහු පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඔහු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරන බවත්,කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඔහුව පත්කරන බවත් රණවක මහතා කියා සිටියේය.

එහෙත් 95දී එක්සත් ජාතික පක්ෂයට කළ දේ නැවත රටට කරන්න‍ට ඉඩනොදෙන බව චම්පික රණවක මහතා  අවධාරණය කළේය.

ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක්‍රමය වෙනස්වීමද ඇතුළත් විය යුතු බවත්,කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට අදාළව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති නිර්දේශ පිළිගත යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

ජාතික හෙළ උරුමය වැනි පක්ෂ ඇති තාක් මේ රට ප්‍රභාකරන්ටවත්,චන්ද්‍රකාටවත්,යළි මහින්දටවත්පවා නොදුන් බවත්, ඉදිරියටත් ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන බවත් රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.