ජනපති ඇතුළු දූත පිරිස පකිස්ථානයට.

q21421412412414

දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරච්චි නුවරට ළඟා වී තිබේ.

අද පස්වරු 1.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යු.එල්.183 දරණ සාමාන්‍ය මඟි ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල බලා පිටත්ව ගියේය.

කරච්චි ගුවන්තොටුපලේ සිට විශේෂ ගුවන් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දුත පිරිස ඉස්ලාමාබාද් නුවරට ළඟා වී ඇති බව අප විශේෂ නියෝජිත ෂෙහාන් බරණගේ මහතා පැවසුවේය.

පාකිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 2ක කාලයක් එරට රැඳීසිටිමට නියමිතය.

සංචාරය තුළදී ජනාධිපතිවරයා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා සහ අග්‍රාමාත්‍ය නවාස් ශරිෆ් මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා   පැවැත්විමට සැලසුම්කර ඇති බවද සඳහන්ය.

ඉන් අනතුරුව දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කෙරෙන අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තැබිමට නියමිත බව  අප විශේෂ නියෝජිතවරයා අද දෙරණට පැවසුවේය.

සිය සංචාරයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථාන කතානායකවරයා, ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු එරට ඉහල පෙලේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟද සාකච්ඡා පැවැත්විමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා පකිස්ථානයේ ධර්මරාශික ස්ථුපය වන්දනාමාන කිරිමටද අපේක්ෂා කරන බවද වාර්තාවෙයි.