අගමැති කටයුතුකරන විදිය ගැන කණගාටුයි; හෙළ උරුමය කියයි.

nishantha-sri-warnasisnghe--nuwan-amarawansha5

දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට බාධා කරන මේ ආණ්‌ඩුව ඇතුළේම ඉන්න ප්‍රධාන තිරිංගය කවුද කියන එක අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට හෙළිදරව් කරන බව ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

මේ යුගයේ කාටවත් මේවා හැංගිලා කරන්න බෑ. මේ සියලු තොරතුරු එළියට එනවා. ඒ නිසා වීදුරු ගෙවල් ඇතුළේ සිට රෙදි ගලවන්න එපා යෑයිද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේය.

බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඉකුත් 01 දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනතා විමුක්‌ති පෙරමුණට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙනවද නැද්ද කියාගන්න බැරිවුණා. කෙලින් කියන්න බැරිවුණා ජනතාවට මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්න කියලා. වාටියේ ඉඳගෙන දේශපාලන කළේ. කේන්ද්‍රයට ඇවිල්ලා කෙලින් කියා ගන්න බැරිවුණා. අඩුම වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය, දින 100 වැඩසටහන අරගෙන ගිහින් ගෙයින් ගෙට බෙදුවද? නෑ. දැන් මේ අය මේ ජනවරමේ අයිතිකාරයෝ වෙන්න හදනවා. මේ ජනවරමට වැඩිම අවධානම අරගෙන කටයුතු කරපු මාදුළුවාවේ සෝභිත, අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේලා ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුවෙන් එලියට බැහැපු රාජිත සේනාරත්න, චම්පික රණවක මහතා ඇතුළු තව බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ හිටියා මරණය අතින් අරගෙන. මේ අය දැන් මේකේ අයිතිකාරයෝ වෙලා. ඒකයි තත්ත්වය. ඇඟÊබේරගෙන තමයි දේශපාලනය කළේ. පරාද වුණා නම් කවුද කන්නේ පරිප්පුව. එතකොට පැත්තකට වෙනවා. ඒ නිසා ජනතා විමුක්‌ති පෙරමුණට අපි කියන්න ඕනෑ, සමහරුන්ට වගකීම් දරන්න, බාරගන්න බෑ, ඒවට උර දෙන්න බෑ, විවේචනය කර කර ඉන්න පුළුවන්. ඒ නිසා අපි විවේචකයෝ විතරක්‌ නොවෙයි. අපි ප්‍රතිපත්ති සම්පාදනය කරන්න, වගකීම් දරන්න වගකීම්වලට උරදෙන්න සූදානම් පිරිසක්‌. ඒ වගේම ඒවා සාර්ථකත්වය කරා ගෙනියන්න පුළුවන් පිරිසක්‌.

කනගාටුවට කාරණය මේ සියලු පක්‍ෂවලට එකඟතාවක්‌ ඇතිකර ගන්න පුළුවන් ආකාරයට නොවෙයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ. ඒකයි තියෙන කනගාටුවට කාරණය. අපි කතා කරන්නේ සියලු දෙනා අතර එකඟතාවක්‌ සම්මුතියක්‌ ඇතිකර ගන්නා සහජීවනවාදී දේශපාලනයක්‌ පිළිබඳව. ඉතිං ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට අපි මුල ඉඳලම මේ පිළිබඳව විවේචනයක්‌ කළා. එතුමා අගමැති වුණාට පස්‌සේ කැබිනට්‌ මණ්‌ඩලය පත් කළාට පස්‌සේ විශාල ප්‍රශ්න ගණනාවක්‌ ඇති වුණා. පළමුවැනි එක ජෝන් අමරතුංග ඇමැතිගේ ක්‍රියාකලාපය. ඒ හේතුකොටගෙන දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ විශාල අර්බුදකාරී තත්aතවයක්‌ නිර්මාණය වෙන්න තිබුණා ඒ විශ්වාසංභංගය ඉදිරිපත් වුණා නම්. ජනාධිපතිතුමා මැදිහත් වෙලයි ඒ විශ්වාසභංගය ගේන එක ප්‍රමාද කළේ. ඒ අවස්‌ථාවේදී ජෝන් අමරතුංග ඇමැතිවරයා කටයුතු කළ ආකාරය, දේශපාලන පළිගැනීම්, මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා හේතුකොටගෙන ඇති කරගත් මේ සම්මුතිවාදී දේශපානයට විශාල බාධාවක්‌ ඇති වුණා. මේ සිද්දියෙන් පස්‌සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එක්‌සත් ජාතික පක්‍ෂයත් අතර ඇතිකර ගැනීමට තිබුණු සම්මුතිවාදයට කිසයම් ආකාරයක බාධාවක්‌ ඇති වුණා.

ඒවගේම දූෂණ විරෝධී සටනට මොකද වුණේ? ඒ දූෂණ විරෝධී සටන අපිට ඉදිරියට ගෙන යන්න බැරි ආකාරයට මහා අවමානයක්‌ අපට ඇති කරන සිද්ධියක්‌ මේ දින 100 යහපාලන ආණ්‌ඩුව ඇතුළේ සිදු වුණා. ඒකට වගකියන්න ඕනෑ කවුද? මෛත්‍රීපාල සිරිසේන මහතාද? නෑ. ඒකට වගිකයන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ මහතා. මහ බැංකුවේ මහා මූල්‍ය අපරාධයක්‌ සිදු වුණේ. ඒ අපරාධය පිළිබඳව වගකීම කවුද බාරගන්නේ. මේ ආණ්‌ඩුවට සිදුවෙච්ච අගෞරවය අපකීර්තිය අවමානය හරියට යහපාලන කිරිකලයට දාපු ගොම බිංදුවක්‌ වගේ. විශාල කලු ලපයක්‌ ඇති කළා ඒ සිද්ධියෙන්.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීම කළේ රනිල් වික්‍රමසිsංහ මහතා. කැබිනට්‌ මණ්‌ඩලයේදී එතුමා සම්පූර්ණයෙන් වගකීම බාරගත්තා. කැබිනට්‌ මණ්‌ඩලයේදී රාජිත සේනාරත්න මහතා සහ චම්පික රණවක මහතා පැහැදිලිවම විරුද්ධත්වය පළ කළා එම පත් කිරීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්‌ නොවෙයි. ඒ නිසා මේ තනතුරට පත් කරන්න එපා කියලා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා කෙනෙක්‌ වන පුද්ගලයාට තිබුණා මූල්‍ය සමාගමක්‌. ඒවා මහ බැංකුවේ මූල්‍ය කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙවැනි තනතුරක්‌ දැරීම නුසුදුසුයි කියන තැනක ඔවුන් සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ වගකීම භාරගත්තා අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන්. පැය 24ක්‌ ඇතුළත පුරවැසිභාවය ලබාදී ඒ තනතුරට පත් කළා. සති 2යි ගියේ මහ බැංකුව බින්දා. දැන් මේ අය මහත්තුරුද. මේචර අවධානමක්‌ අරගෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය අවසන් කරන්න පරාජය කරන්න කටයුතු කරපු මේ රටේ ජනතාවට කරපු මේ අවමානය බලන්න. මේ අය කොහෙද ඉන්නේ සිංගප්පූරුවේ, මැලලේසියාවේ නැත්නම් ලන්ඩන්වල. ඒ අය සමග තියෙන යාලුකම් ලැදියාවන් ඒව මත තමයි මේ පත් කිරීම් කරන්නේ. අපි හිතුවා මේ අය හොඳ මහත්වරු කියලා. බලන් ගියාම මහත්වරු නොවෙයිනේ. කිසිම ශීලාචාරකමක්‌ නෑනේ. ටයිකෝට්‌ දාගෙන ඉංග්‍රීසියෙන් හොරකම් කරනවා. මේ දූෂණ විරෝධී සටනට කරපු ලොකුම අවමානය තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදිහට මහ බැංකුවට පත් කරපු පුද්ගලයන් සිදු කළ මූල්‍ය වංචාව. මේ නිසා අද බඩ පිනුම් ගහනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අය. අපිට ඔච්චම් කරනවා. සරදම් කරනවා. මේක සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක්‌ කළා.

ඒ වගේම ඇවන්ගාඩ් ප්‍රධානියාගේ අත්හිටවූ ගුවන් ගමන් බලපත්‍රය නැවත සකස්‌ කර ගැනීම සඳහා විශාල මූල්‍ය ගනුදෙනුවක්‌ සිදු වුණ බවට මේ ආණ්‌ඩුවට චෝදාවක්‌ තියෙනවා. ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක්‌ ගැන චෝදනාවක්‌ තියෙනවා. දමයන්ති ජයරත්න මහත්මිය. එතුමිය ඇවන්ගාඩ් ආයතනය සමග තිබුණු සම්බන්ධතාව ගැන එතුමියගෙන් ප්‍රශ්න කරන්න තීරණය කළා. ඒ තීරණය කළාs විතරයි ඒ පණිවුඩය ඇයට ගියා. ඇය මොකද කළේ. එදිනම විදේශගත වුණා. සිංගප්පූරුවට ගිහින් එතනින් නවසීලන්තයට ගියා.

එක පැත්තකින් තමන්ගේ පටු දේශපාලන උපාය මාර්ගත් එක්‌ක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමේ වුවමනාව මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දූෂණ චෝදනා එල්ලවෙලා තියෙන අයට අද නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒවාට බාධා කරන, බලපෑම් කරන අය ඉන්නවා. ඒවා පස්‌සට දානවා. ඒ හරහා මොකක්‌ද කරන්නේ තමන්ගේ පටු දේශපාලන උපාය මාර්ගත් එක්‌ක කල්පනා කරනවා මේ වෙලාවේ අපි මේ දූෂණ විරෝධී සටනට ඉදිරියට ගෙනියනවට වඩා හොඳයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීම කියලා. ඒ නිසා ඇතැම් අයට නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නෑ.