පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.

P1-CAPITAL-MARKETS1

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ.

වත්කම් බැරකම් පනතේ 9 (01) යටතේ යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම පසුගියදා පියවර ගත්තේය.

ඒ අනූව සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පැවරුණ අතර එහි ප්‍රතිලයක් ලෙස ඒ මහතා අද (31) උසාවිය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය සැප්තැම්බර් මස පළමු වන දින පැවැත්වෙන බව දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2012 වසරට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

මේ අතර මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර මහතාගෙන් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස්  මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

අමෙරිකානු ඩොලර් මිලියන 2000ක් පමණ පාඩු සිදුවූ බව කියන හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නා බව සඳහන්ය.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මෙන්ම දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් ද හෙජින් ගනුදෙනුව ගැන පසුගියදා ප්‍රකාශ ලබාගෙන තිබුණි.

එසේම තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ අසන්තා ද මෙල් මහතා ඇතුළුව දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.