වාසු,විමල්,උදය වත්මන් රජය ගැන අද මාධ්‍යට කිවුව කතා:(විඩියෝ සහිතයි )

https://www.youtube.com/watch?v=jCg5apmtL3o&feature=youtu.be

සැබෑ ඒකාධිපති රෙජීමය යනු ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවදැයි යන්න ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විමසයි.

මේවන විට එය ඉතාම පැහැදිලිවී ඇතැයි අද(30) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ 04හි විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කියා සිටියේය.

මේ වන විට අපේ රට දේශපාලන වශයෙන් ඉතාමත් අනාරක්‍ෂිත තත්ත්වයකට ඇදගෙන යමින් තිබෙනවා. ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් පත්ව තිබෙනවා, එක ඡන්දයෙන් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා විපක්‍ෂ නායකවරයකු තෝරාපත්කර ගත්. මේ බලකේන්ද්‍ර තුනම එක් ආණ්ඩුවක් අතේ තිබෙන්නේ, අපේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි. ‘ජාතික ආණ්ඩුව’ කියලා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවට එකතුවෙලා ඉන්න රටවල් හැරුණාම ලෝකයේ මෙහෙම අත්දැකීමක් නැතිව ඇති.

සිංගප්පූරුව වැනි ජාතික ආණ්ඩුවක් තිබෙන රටවල පවා නාමමාති‍්‍රකව හෝ විපක්‍ෂ නායකවරයකු වෙනම නියෝජනය වෙනවා. අද ශ‍්‍රී ලංකාවේ මේ බලකේන්ද්‍ර තුනම එකම තැනකට අරගෙන ඉවරයි. එහෙමනම් ‘ඒකාධිපති රෙජීමය’ මේ ආණ්ඩුවද? තිබුණු ආණ්ඩුවද? කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

මේ යහපාලන මහත්තුරු ‘එකාධිපති රෙජීමය’ කියලා හඳුන්වන පසුගිය ආණ්ඩුව කවදාවත් ‘ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි’ කියලා සියල්ල අල්ලා ගෙන හිටියේ නැහැ. පසුගිය ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 150කට වැඩි ප‍්‍රමාණයක් තිබුණා.  ඕනෑනම් ඒ ආණ්ඩුවට ඊනියා විපක්‍ෂයක් හදලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ විපක්‍ෂ නායක ධුරයත් අත්පත් කර ගැනීමට පහසුවෙන්ම ඉඩකඩ තිබුණා. නමුත් ඒ ආණ්ඩුව එහෙම කළේ නැහැ. එහෙම නොකළ ඒ ආණ්ඩුවටත් මේ යහපාලන මහත්වරු කීවේ ‘ඒකාධිපති රෙජීමය’ කියලා. එහෙනම් ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක කියන වැදගත් තනතුරු තුනම අත්පත්කරගෙන සිටින මේ ආණ්ඩුවට කිව යුත්තේ කවර ‘ඒකාධිපති රෙජීමය’ කියලාද?

මේ තත්ත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලද? යහපාලනය කියන්නේ ජනාධිපතිකමයි, අගමැතිකමයි, විපක්‍ෂනායකකමයි කියන මේ තුනම අල්ලලා තියා ගන්නා එකටද? දැන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ විහිළුවක් නොවෙයිද? මේ අනුව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටළුවක් අද පැනනැඟී තිබෙනවා. මෙම විකාරරූපී, ඒකාධිපති ස්වරූපයේ මෙහෙයුම ගෙන යන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ  රන් දෙවොල’ මේ රටේ නිර්මාණය කරනවා යැයි කියපු මහත්වරු. මේ අනුව මේ කෙටි කාලය තුළ  ඉතා පැහැදිළිව පෙනෙනවා මේ අයගේ තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන භාවිතයක් නොවන බව.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා, ‘පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන්න’ කියා. මේ සඳහා දැනටමත් විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 58 දෙනකු අත්සන් තබා තිබෙනවා. විපක්‍ෂ නායක ධුරයේ තවදුරටත් නිමල් සිරිපාල ද සිල්වා මහතා තබා ගත යුතු බවට කථානායකතුමාට ඉදිරිපත් කළ ලිපියට අත්සන් තබා තිබූ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු කිහිප දෙනකු ද දිවුරුම් පෙත්සම් මගින් එය වැරදීමක් බව දැනුම්දී තිබෙනවා. දැන් ඔවුන්ද දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා සිටින ලිපියට අත්සන් තබා තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී මෙම සංඛ්‍යාව තවත් වැඩි වේවි. ඉදිරියේදී අපි ඒ ඉල්ලීම කථානායකතුමන් වෙත ඉදිරිපත් කරනු ලබනවා.

මේ වන විට ඉතාම සියුම් මර්දනකාරී මෙහෙයුමක් ඇරඹි තිබෙනවා. හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඉතා තීරණාත්මක අවස්ථාවක කොටි ත‍්‍රස්තවාදයට එරෙහි ගුවන් මෙහෙයුම් සඳහා නායකත්වය දුන් අයෙක්. දැන් එතුමාට විරුද්ධව ඊනියා දූෂණ චෝදනාවක් එල්ල කර පරීක්‍ෂණ සිදුකරනවා. ඒ වගේම හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා කොටුකර ගන්නත් මෙහෙයුමක් දැන් සිදු කෙරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමන් කොටු කරන්න බලාගෙන විවිධ නඩු විභාග, පරීක්‍ෂණ සිදු කෙරෙනවා. රටින් පිට වෙන්න බැරි ආකාරයට ගුවන් ගමන් බලපත‍්‍රය පවා අරගන්නවා.

මේ ආකාරයට අද හොරුන් ලෙස හංවඩු ගහන්න හදන හැම දෙනාම යුදමය සමයේ මේ රට වෙනුවෙන් තීරණාත්මක මෙහෙයක් ඉටු කරපු මිනිස්සු. ඒ අතරේ කොටි සංවිධානයේ මුහුදු කොටි නායිකාවට උසාවියෙන් ඇප ලැබෙනවා. ඇය ඇප මත මුදා හැරෙනවා. නැවත කොටි සංවිධානය බිහි කිරීමට ආයුධ සන්නද්ධ වීමේ චෝදනාවට අත්අඩංගුවට පත් වූ අයට ඇප ලැබෙනවා. ඔවුන්ට මල් මාලා දමලා පිළි අරගෙන රැගෙන යනවා. මේක තමයි අද මේ රටේ පවතින තත්ත්වය.

අද රාජ්‍ය බලය යොදා ගන්නවා, මේ රටට යුද ජයග‍්‍රණය ගෙන ඒමට කැප වූ මිනිස්සු දඩයම් කිරීමට. එක පැත්තකින් අවලාද නගමින්, තවත් පැත්තකින් පරීක්‍ෂණ පටන් අරගෙන, පරීක්ෂණවලින් වරදකරු කිරීමට බැරි වුණෙත් අත්අඩංගුවට අරගෙන ටික කාලයක් හරි රඳවා ගන්න මෙහෙයුමක් දැන් මේ යුද ජයග‍්‍රහණයට නායකත්වය දුන් පිරිසට එරෙහිව දියත් වෙමින් තිබෙනවා. අපි අහනවා, ‘එදා යුද්ධය ඉවර වෙලා ඒ සතුට වෙනුවෙන් කිරිබත් කාපු, ජාතික කොඩිය අතට අරන් ඒ සම්බන්ධයෙන් උද්දාමයට පත් වුණු මිනිස්සුන්ට පුළුවන්ද මේ දඩයමට ඉඩ දෙන්න?’ කියලා.

මේක ඉතා පහත් පෙළේ දඩයමක්. මේ දියත් වන්නේ විදේශ රටවල, දෙමළ ඩයස්පෝරවේ උවමනාව අනුව යුද්ධයට නායකත්වය දුන් පිරිසගෙන් පළිගැනීමේ මෙහෙයුමක්. ඒ දඩයම දෙස නිහඬව, නිසලව තවදුරටත් බලා ඉන්න බැහැ. ඊට එරෙහිව නැගිටින්න  ඕනෙ. ඒ දඩයමට එරෙහිව නැගී සිටින්න පරක්කු වන මොහොතක් මොහොතක් පාසාම මේ රට කොටි ත‍්‍රස්තවාදයෙන් බේරා ගන්න කැප වුණු මිනිස්සු මේ දඩයමේ ගොදුරු බවට පත් වෙනවා. අපි රටේ පොදු ජනතාවගෙන් ඉතාමත්  ඕනෑකමින් ඉල්ලනවා මේ දඩයමට එරෙහිව පෙළ ගැසෙන ලෙස.

මේ දඩයම් කරන ක‍්‍රියාවලිය තවදුරටත් දිගේලි කළොත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසන් වෙනවා. ඒක වළක්වන්න බැහැ. විපක්‍ෂ නායක ධුරයත් අල්ලන් තියාගෙන ඉන්නේ ඒ වැඬේට. ‘මේ ඊනියා යහපාලන මහත්වරුන්ගේ දඩයමට එරෙහිව වහාම නැගී සිටින්න’ කියන ඉල්ලීම කරන අතරේ අපි බලාපොපොරොත්තු වෙනවා, ඉදිරියේදී මේ දඩයමට එරෙහිවත් මහජන පොළගැස්මක් ගොඩනඟන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න.’’

වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා සදහන් කලේ දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකු මේ වන විට සහය පළ කර ඇති බවයි.   ඉදිරියේ දී තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් මේ සඳහා සහය පළ කරනු ඇති බවයි.

විපක්‍ෂ නායකවරයා මෙන්ම අග‍්‍රාමාත්‍යවරයා පත්කළ ආකාරයට එරෙහිව ඉදිරියේදී ක‍්‍රියාමාර්ග ගන්නා බවයි මෙම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වුණා. පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවටයි මන්ත‍්‍රීවරයා මෙහිදී චෝදනා කළේ.

පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවෙලා ඉන්නවා. මේ සමාජයේ ඇතිවෙලා තියෙන දැඩි මහින්ද උණුසුම ඡන්දය කල් දැම්මොත් සිසිල්වෙයි කියන වැරදි උපකල්පනයක මේ ආණ්ඩුව යෙදිලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ උණුසුම එහෙම තුනී වෙලා යන්නේ නැහැ. මේ ආණ්ඩුව පවතින දිනයක් දිනයක් පාසා, තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරන මොහොතක් මොහොතක් පාසා මේ රටේ ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වටිනාකම වැඩි වෙනවා. මෙදා පාර අවුරුද්ද ජනතාවට අභියෝගයක්. හැබැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කමක් නැහැ දුකයි තමයි ලබන අවුරුද්ද ජයට කන්න මහින්ද යුගයක් යලි උදාකරන බවනම් අපි තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.

ජේ.ආර් හෝ චන්ද්‍රිකා මෙන්ම මහමැතිවරණ කල්දමන්න‍ට මේ ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබුවහොත් වීදි සටන් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙහිදි සදහන් කලා.

කෙනෙක් මැරුණම 7 දවසේ දානෙ දෙන්නේ අඬ අඬා බවත්,3 මාසේ දානෙ දෙන්නේ මූණ එල්ලගෙන බවත්,අවුරුද්දෙ දානෙ දෙන්නේ හිනාවෙවී බවත් ඔහු සිහිපත් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා කරුණු 4ක් හේතුවෙන් එලෙස අමතක කළ නොහැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

පළමුවැනි කාරණය නම් එතුමා තාමත් ජනතාව හමුවෙමින්,අදහස් උදහස් බෙදාගනිමින් දේශපාලනය කිරීම බවත්,දෙවැන්න නම් මේ රජය දවසින් දවස තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරමින් සිටීම බවත් ඔහු අවධාරණය කළේය.

තෙවැනි කාරණය නම් ආණ්ඩුවේ ඉහළම තැන සිට පහලම උදවිය දක්වා පිරිස් රාජපක්ෂ මහතාට අභූත චෝදනා එල්ල කිරීම නිසා එතුමාගේ ජනප්‍රියත්වය හා එතුමා කෙරෙහිවන ජනතා ප්‍රසාදය තව තවත් වැඩිවීම බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතාට ‍අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වන බවද ඔහු කියා සිටියේය.

එසේම සිව් වන කාරණය නම් මහින්ද රාජපක්ෂ මහතා අමතක නොවන තැනට තමන් ඇතුළු විපක්ෂයේ පිරිස් දිගින් දිගටම ඔහු පිළිබඳ කතා කිරීම බව හෙතෙම අවධාරණය කළේය.

පළාත් පාලන ආයතන හීලෑ නොවුණහොත් ඒවා කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට සූදානමක් තිබුණු බවත්,එසේ කරනු ලැබුවහොත් ඊට එරෙහිව උසාවි යන බවට තමන් ප්‍රතිචාර දැක්වූ බැවින් ඊට බියවී අවසානයේ තව ටික කාලයක් නිල කාලය කල්දැමූ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට මිස මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයාට නොවන බවත්,මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා නිකම් බෝඩ් ලෑල්ලක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් නීති විරෝධී ලෙස පත්කරමින් ආ ගමන බස්නාහිර පළාතෙන් නතර කිරීමට තමන්ට හැකිවූ බවත්,ඒ අනුව තමාට බලයක් නැති වග මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින් පිළිගෙන තනතුර අතහැරිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.