රණවිරුවන්ට ඉන්දියාවෙන් මඩ ගසයි… කොළඹදි හඩ කවයි.

93-sri_lanka_1920936c

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරන ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් සිටි සිංහල පුද්ගලයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් අටදෙනකු බොරැල්ල පොලීසිය මගින් පෙරේදා (28 වැනිදා) සවස අත්ඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සිංහල ජාතිකයන් තිදෙනකුද, ද්‍රවිඩ ජාතිකයන් පස්‌දෙනකුද සිටින බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් දෙදෙනකු මීට කලකට ඉහතදී ඉන්දියාවේ පදිංචිව සිට ඇති බවත් තවත් තිදෙනකු පසුගිය යුද සමයේ උතුරේ සිටි පුද්ගලයන් බවත් හෙළි වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් මේ වන විට වැල්ලවත්ත, කුරුඳුවත්ත, ගම්පහ, ජා ඇල යන ප්‍රදේශවල පදිංචිව සිටින බව හෙළිවිණැයිද පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා යුදහමුදාවට අපහාස කරන මෙම චිත්‍රපටය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා හඬකවන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය කියයි.

දෙමළ බසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය සඳහා සිංහලෙන් හඬකැවීමට අත්අඩංගුවට පත් සිංහල ජාතිකයන් තිදෙනා යොදා ගන්නට ඇතැයි සැකකරන බවද පොලීසිය කියයි.

මෙම චිත්‍රපටය චැනල් 4 චිත්‍රපටයේම දිගුවක්‌ විය හැකි බවට සැකකරන්නේ යෑයිද පොලිසිය පවසයි.

පොලිසිය වැටලූ ශබ්දාගාරයේ තිබී සොයාගත් පරිගණක යන්ත්‍ර, සංයුක්‌ත තැටි ඇතුළු සියලු උපකරණ මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර එහි ඉංජිනේරුවරුන්ගේ සහායෙන් ඒවායේ ඇති සියලු දර්ශන මොනවාද යන්න විමර්ශනය කිරීමට කටයුතු කරගෙන යන බවද පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තවත් මෙවැනි යුද හමුදාවට අපහාස කරන අන්දමේ චිත්‍රපට නිෂ්පාදනය කර විදේශ රටවලට යවා ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද පොලීසිය කියයි.

බොරැල්ල පොලීසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රගති ලක්‌මිණි මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරිහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

දිවයින පුවත්පතින්…