රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.

“මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේය. මෙයට අමතරව සන්ධාන පළාත් සභා හා ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ ද සහභාගි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථ පරිශ්‍රයේදී ඊයේ (25 දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහෝදර පක්‍ෂ හතරක්‌ සංවිධානය කරන එම රැස්‌වීම්වලට සහභාගි වීමේ වරදක්‌ නැති බවත් යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රයෝජනයට ගෙන ඊට සහභාගි වන බවත්, පැවසූ මන්ත්‍රීවරයා එම රැස්‌වීම්වලට සහභාගි නොවන ලෙස ශ්‍රී ලනිපයේ වර්තමාන නායකත්වය තහංචි පනවා නැති බවත් කීවේය.

එම නිසා රත්නපුරයේ අද පැවැත්වෙන ජන රැලියට සහභාගි වීමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවෘතව ආරාධනා කරන බවත් හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාතවරයාගේ අණ්‌ඩුවේ ඇමැතිකම් ගන්න හොඳ නම් සන්ධානයේ සහෝදර පක්‍ෂ සංවිධානය කරන රැස්‌වීමකට සහභාගි වීමේ වරද කුමක්‌දැයි අවධාරණය කළ ජානක වක්‌කුඹුර මහතා එම රැස්‌වීමට සහභාගි වීමට බියක්‌ නැති බවත් කීවේය.

තමා නිතරම හිට ගන්නේa ජනතාව සමඟ කී මන්ත්‍රීවරයා ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් තමා හැමවිට පෙනී සිටින බවත් පැවසීය.

ආණ්‌ඩුවේ ඇමැති ධුර ලබාගත් අයත් ඒවායින් ඉවත්වෙලා ආවොත් ජනතාව පිළිගනු ඇති බවත් නැතහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව නිසි ප්‍රතිචාර දක්‌වනු ඇති බවත් සඳහන් කළේය.

තනතුරු පසු පස ගිය මන්ත්‍රීවරුන්ට ජනතාව පිළිතුරු දෙන බවත්, තනතුරු නැති වුවත්a මේ රටට සාමය උදාකළ රටේ දැවැන්ත සංවර්ධනයක්‌ ඇති කළ දක්‍ෂ ප්‍රායෝගික නායකයකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ ද අදහස්‌ දැක්‌වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු යෑයි බල කරමින් අද (26 වැනිදා) රත්නපුරයේ පැවැත්වෙන රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

රත්නපුරයේ අද (26 වැනිදා) පැවැත්වෙන රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව යම් පියවර ගන්නේ දැයි ඊයේ (25 වැනිදා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම එසේ සඳහන් කළේය.

එහිදී මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.

අපි මීට පෙරත් පැවැති රැලියකට සහභාගි නොවන ලෙස පක්‍ෂයක්‌ වශයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළා. එම මතය ඒ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. එය කඩ කරන අයට විනය පරීක්‍ෂණ තියෙනවාද නැද්ද තීරණය කරන්නේ පක්‍ෂය විසිනුයි.

කිසිම කෙනකුට රැලියට නොයන ලෙස ලිතව දැනුම්දීමට පක්‍ෂයට අවශ්‍ය නැහැ. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යම් තීරණයක්‌ ගත්තා. එය පක්‍ෂයේ කාටත් පොදුයි. එම රැලිවලට මීට පෙර සහභාගි වූ කිසිවකුට එරෙහිව මෙතෙක්‌ විනය පියවර ගෙන නැහැ.