අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )

 19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එසේම  19 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකපාර්ශවීය එකක් බවත්, මෙය තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව සිදුකළ දෙයක් බවත්  චම්පික රණවක මහතා එහිදී සඳහන් කළේය. “දැන උගත් ජනතාවගේ බලගතු නිහඬ ප්‍රජාතන්ත්‍රවාදයට අපි ගරු කලයුතුයි. ඒ වගේම ලැබුණු ජනවරම කුමන්ත්‍රණ මගින් ඩැහැගැනීමටද අපි ඉඩනොදෙන්නෙමු. අනෙක් කණගාටුවට කාරණය නම් විධායක ජනාධිපතිදූරය අහෝසිකිරීමට තිබෙන්නා වූ උනන්දුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ඇත්තේ නැත”.

ඉතාමත් හදිසියේ සාකච්ඡාවකට වැඩි ඉඩක් නොදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ පැහැදිළිවම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙසය. මෙය ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මඟින් අගමැතිවරයාට ලබාගැනීමට කෙරෙනා උත්සාහයකි. අපි මෙයට විරුද්ධයි එය පරාජය කිරීම සඳහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙය පැහැදිළිවම ඡන්දයෙන් බලයට පැමිණීමට නොහැකි පිරිසක් බලය ලබාගැනීමට කරන්නා වූ කුමන්ත්‍රණයකි.

තවද   ජනපතිට ලැබුණු  ධූරය මේ වන විට  අගමැති විසින් කොල්ලකා ඇති බවද  ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

මෙය අගමැතිවරයා රටේ නායකයා කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයක් බවත්, අවුරුදු 23ක් ඡන්දයක් දිනා ගැනීමට නොහැකි වු පුද්ගලයින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් ජයග්‍රහණය කිරීමට සුදානම් වන බවත්, හෙතෙම සඳහන් කළේය.

එසේම මේ වන විට කැබිනට් මණ්ඩලය 30 දෙනාගේ සිට 40 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙය යහපාලනයට විරුද්ධ දෙයන් බවත් චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්   ජාතික හෙළ උරුමය ලෙස තම පක්ෂයේ ස්ථාවරය වුයේ ජනාධිපති විධායකය බලතල අහෝසි නොකර එහි ඇති  අත්තනෝමතික බලතල  ඉවත් කළ යුතුව ඇති බව එම අවස්ථාවේදී  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.