මහින්ද අගමැති කරන සටනේ ඉදිරිගමන් මග හෙළිකරයි.

 

මෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම් දීමෙන් පිළිඹිබුවන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය යයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම ආණ්ඩුවට සහය ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු දේශපාලන තීන්දුවක් ගෙන නැති බවත්,ඒ සඳහා අවසරයක්ද නැති බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම ජනතාව විසින් දුන් ජනවරම සපුරා උල්ලංඝණය කිරීමක් බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ නායකත්වයට ගෙන ආ යුතු බවට තමන් තීන්දුවක් ගත් බවත්,එම තීන්දුවෙන් පසු ජනතාවට කී දේ අද සත්‍යයක් බවට පත්වෙමින් තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

යහපාලනය යටතේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළ වංචාව බවත්,ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ දෙදෙනාටද මේවන විට ඇමතිධූර හිමිව ඇති බවත් ගුණවර්ධන මහතා සිහිපත් කළේය.

කාට ඇමති ධූර දුන්නත් මෙම වංචාව වහන්නට හැකියාවක් නොමැති බවත්,මේවන විට මහබැංකු අධිපතිට නිවාඩු දුන්න බව පවසා ඇතත් මේ වගකීමෙන් මිදෙන්නට අගමැතිවරයාට හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

මේවන විට විපක්ෂ නායක ධූරය ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමිවීමේ අවදානමක් මතුව ඇති බව පිවිතුරු හෙළඋරුමයේ නායක,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ වුවහොත් ජාත්‍යන්තර ලෝකය තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතයට වැඩි පිළිගැනීමක් හිමිවනු ඇති බව ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අනෙක් අතට ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය නොලැබුණහොත් තමාට මේ රට තුළ ‘දෙමළවීම’හේතුවෙන් එය නොලැබෙන බවට රාවයක්ද ජාත්‍යන්තරය තුළ ගෙනයා හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ජාතික ආණ්ඩු බිහිවන්නේ ඉතාම වැදගත් තීරණාත්මක අවස්ථාවන්හිදී බවත්,දෙවන ලෝක යුද සමයේ එයට මුහුණදීම සඳහා එවක බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය වින්සන්ට් චර්චිල් එවැනි ජාතික ආණ්ඩුවක් බිහිකළ බව ඔහු සිහිපත් කළේය.

එහෙත් ලංකාවට අදාළව 1987 දී ඉන්දීය ආක්‍රමණයක් සිදුවන විටත්,සුනාමි ව්‍යසනය ඇතිවූ අවස්ථාවේදීත්,කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේදීත් ස්ථාපිත නොවුණු ‘ජාතික ආණ්ඩුවක්’මේ හදිසියේ ස්ථාපිත කරනු ලැබුවේ කුමක් නිසාදැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.

විපක්ෂය ලෙස ජවිපෙටද ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමෙන් තම දේශපාලන මතයට ඉඩක් හදාගැනීමට හැකිවීමෙන් මෙම අවස්ථාව ඔවුන්ටද ජයග්‍රහණයක් බවත්,විපක්ෂ නායකත්වය ලැබීම නිසා ටී.එන්.ඒ එකටද එය ජයග්‍රහණයක් බවත්,එල්ලවන අපවාද බෙදාහදා ගැනීමට හැකිවීමෙන් එජාපයටද මෙය ජයග්‍රහණයක් බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා පරාජය අත්ව ඇත්තේ ශ්‍රීලනිපයට පමණක් බව අවධාරණය කළේය.

1956 දී තල්දූවේ සෝමාරාම විසින් ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා වෙඩිතබා ඝාතනය කළ බවත්,2015 දී තවත් සෝමාරාමලා පිරිසක් විසින් බණ්ඩාරනායක මහතා යළි වරක් දේශපාලනික වශයෙන් ඝාතනය කළ බව හෙතෙම සඳහන් කළේය.

තල්දූවේ සෝමාරාම ට නීතියෙන් දඬුවම් ලැබුණු බවත්,මේ සෝමාරාමලාට එළඹෙන මහ ඡන්දයේදී දඬුවම් ලැබෙනු ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.