නව මහ බැංකු අධිපති/මුදල් ඇමති ගෙදර යා යුතුයි,බැණට බැදුම්කර 5000ක් දීලා.JVP කියයි.(විඩියෝ සහිතයි )
බැඳුම්කර ගනුදෙනුව අස්වාභාවික බවත්,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා අස්විය යුතු බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
පසුගියදා මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තා තුළත් ඇතැම් විකෘති කිරීම් සිදුවී තිබෙනවා. මේ ගනුදෙනු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ජනතාවට නොතේරුණාට බරපතළ තත්‍ත්වයක් තිබෙනවා.
සාමාන්‍ය පුද්ගලයින් ණයක් ගන්නවා වගේම රජය වෙනුවෙන් මුදල් ණයට ගන්නේ මහබැංකුව නිකුත් කරන බැඳුම්කර මගිනුයි. ඊට අමතරව හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා මුදල් අච්චු ගහනවා. විදේශ රටවල බැංකුවලින් හෝ දේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබාගන්නවා. මුදල් අච්චු ගැසීම මගින් වෙනත් ගැටලූ මතුවෙන නිසා පහසුවෙන් සිදුකරන දෙයක් තමයි බැඳුම්කර නිකුත් කිරීම.
පසුගිය පෙබරවාරි 25 වැනිදා බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙන් මහබැංකුව දැන්වීමක් පළකර තිබුණා. 27වැනිදා වෙන්දේසියක් පැවැත්වෙන බව. එම බැඳුම්කර මේ වසරේ මාර්තු 01වැනිදා සිට 2045 මාර්තු 01 දා දක්වා අවුරුදු 30කින් කල්පිරෙන ලෙස පොලී අනුපාතය 12.5%ක් සඳහා රුපියල් මිලියන 1000ක් නිකුත් කිරීමට මහබැංකුව තීරණය කර තිබුණා. 12.5%ක පොලියක් සඳහා නිකුත් කළද එදිනට වෙළඳපොළ වටිනාකම තිබුණේ පොලී අනුපාතය 9.5%කටයි. මහබැංකුවේ ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් වන බැංකුවලට සහ තවත් මූල්‍ය ආයතනවලට අවම පොලී අනුපාතයක් වන 9.5%හි පොලී අනුපාතය දැනුම් දෙනවා. රුපියල් මිලියන 1000ක බැඳුම්කර සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලූම්පත් කැඳවනවා. එහෙත් ලැබෙන ඉල්ලූම වන මිලියන 20,708න් මිලියන 10,058ක් ප‍්‍රදානය කරන්න මහබැංකුව තීරණය කරනවා.
මෙම නිකුතුවෙන් මිලියන 5000ක්ම ලබාගන්නේ මහබැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් බව කියනු ලබන පර්පර්චුවල් ටේරෂරි මූල්‍ය ආයතනය මගිනුයි. ඒක තමයි ගැටලූව බවට පත්වෙලා තිබෙන්නේ. එම ආයතනය බැඳුම්කර නිකුතුවෙන් හරි අඩක් ලබාගන්නේ කොහොමද? ඒ වගේම රුපියල් මිලියන 1000කට නිකුත් කිරීමට තීරණය කළ බැඳුම්කර මිලියන 10,000ක් දක්වා වැඩිවෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් මෙවැනි බැඳුම්කර නිකුතුවකදී ප‍්‍රාථමික බැඳුම්කරුවන්ට ලැබෙන්නේ 10%ක් පමණයි. එවැනි සම්ප‍්‍රදායක් පවත්වාගෙන යන්නේ ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් අතරේ අඩුම පොලී ප‍්‍රමාණයකින් බැඳුම්කර නිකුත් කිරීමටයි. නමුත් මෙම ගනුදෙනුවේදී මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගම පමණක් විශාල බැඳුම්කර ප‍්‍රමාණයක් ඉල්ලූ කරනවා. සාමාන්‍ය පොලී අනුපාතය 9.5% වෙනුවට ඔවුන් ඉල්ලූම් කරන්නේ 12.5%ක පොලී අනුපාතයකටයි. ප‍්‍රශ්නය තිබෙන්නේ පර්පර්චුවල් ටේරෂරි ආයතනය මහ බැංකුව මිලියන 10,000ක් බැඳුම්කර නිකුත් කරන බව දැනගන්නේ කොහොමද?
එනිසා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්න ඕනෑ. එම ආයතනයට මෙවැනි ඉහළ පොලියකට බැඳුම්කර ලැබෙයි කියලා තිබුණ විශ්වාසය මොකක්ද? සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනුවකදී සිදුකරන්නේ අඩුම පොලියෙන් පටන් ගෙන බැඳුම්කර නිකුත් කරන එකයි. මහබැංකුව මිලියන 1000ක් බැඳුම්කර ලබාගන්නේ දහ දෙනෙකුගෙන් නම් අඩුම පොලී අනුපාතය 9.5%න් ආරම්භ කරන්න ඕනෑ. ඒ ආකාරයට අඩුම පොලියෙන් ආරම්භ කර මිලියන 1000ක් බැඳුම්කර නිකුත් කළා නම් පර්පර්චුවල් ටේරෂරි සමාගමට බැඳුම්කර ලැබෙන්නේ නැහැ. මහ බැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ.
මිලියන 1000න් නතර නොකොට මිලියන 10,058ක් දක්වා නිකුත් කරන්නේ මහබැංකු අධිපතිගේ බෑනාට ඉහළ පොලියක් යටතේ බැඳුම්කර ලබාදෙන්න පාර කපන්නයි. බෑනාගේ සමාගම මිලියන 3000ක් 12.5%පොලියටත් මිලියන 1000ක් 12.25% පොලියටත් මිලියන 500ක් 11.99% පොලියටත් මිලියන 250ක් 11.75% පොලියටත් තවත් මිලියන 250ක් 11.5% පොලියටත් ලබාගන්නවා. ඔහුට ලබාදුන් සාමාන්‍ය පොලී අනුපාතය 12.3%යි. නමුත් මහබැංකු වාර්තාවක සඳහන් වන්නේ නිකුත්කළ බැඳුම්කර මිලියන 10058හිම සාමාන්‍ය පොලී අනුපාතය 11.73%ක් බව සඳහන් වෙනවා. 2045 දක්වාම පොලී අනුපාතය 12.5%ක් වුවත් එක් ආයතනයකට පමණක් 12.3%ක පොලියක් ලබාදෙනවා. එසේ ලබාදෙන්නේ සාමාන්‍ය වෙළඳපොලේ පොලී අනුපාතය 9.5%ක්ව තිබියදී. මෙයින් මහ බැංකුවට, රටට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. බැඳුම්කර රුපියල් මිලියන 1000 සිට මිලියන 10,000ක් දක්වා වැඩිකිරීම නිසා එකම ආයතනයකට මිලියන 5000ක් ලබාදෙන නිසාත් මෙම පාඩුව අධික වෙලා තිබෙනවා. ඒ වගේම අනෙකුත් බැංකුවලට සහ පෞද්ගලික මූල්‍ය ආයතනවලට මෙම ගනුදෙනුවෙන් අසාධාරණයක් වෙලා තිබෙනවා. ඒ ඔවුන් ඉල්ලූම් කරන්නේ රුපියල් මිලියන 1000 ගැන හිතමින් නිසයි.
මෙම ගනුදෙනුව සැලසුම් කළ එකක්. ස්වභාවිකව සිදුවුන දෙයක් නෙවෙයි. මහ බැංකුව බැඳුම්කර නිකුතුව රුපියල් මිලියන 1000සිට 10,058 දක්වා වැඩිකරන්නේ ඇයි? මීට පෙර මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව බැලූවොත් මෙම ගනුදෙනුව අවබෝධයක් ගන්න පුළුවන්. 2014 ජනවාරි මිලියන 5000ක් නිකුත් කර ලබාගන්නේ 5500යි. පෙබරවාරි මාසයේ මිලියන 3000ක් නිකුත්කර ලබාගන්නේ 3050යි. මැයි මාසයේදී රුපියල් මිලියන 5000ක් නිකුත් කර ලබාගන්නේ 6150යි. සැප්තැම්බර් මාසයේ මිලියන 2000ක් නිකුත්කර ලබාගන්නේ මිලියන 2950යි. දෙසැම්බර් මාසයේ මිලියන 3000ක් නිකුත්කර ලබාගන්නේ මිලියන 4000යි.
මේ ආකාරයට මහ බැංකුවට අලාභයක් නොවන ආකාරයේ පොලී අනුපාතයකට වෙළඳපොළ අනුව තීරණය කරලා බැඳුම්කර නිකුත් කරනවා. දැන් සිදුවෙලා තිබෙන්නේ මිලියන 1000, මිලියන 10,000ක් දක්වා දහ ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. ඇත්තටම මිලියන 1000 සීමාවට බැඳුම්කර නිකුත්කළා නම් පර්පර්චුවල් ටේරෂරි ආයතනයට බැඳුම්කර ලබාගන්න වෙන්නේ නැහැ. මොකද, ඔවුන් ඉල්ලූම්කර තිබුනේ 12.5 වැඩිම පොලියට නිසා. නමුත් මෙම ගනුදෙනුවේදී අඩුම පොලියට ඉල්ලූම් කළ අය ඉන්නවා. ඒ නිසා මහබැංකුවට අඩුම පොලියක් යටතේ මිලියන 1000ක බැඳුම්කර ලබාගන්න තිබුණා.
අද පුවත්පතක ප‍්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. ”මුදල් අමාත්‍යවරයා, මහාර්මාග ආයෝජන ප‍්‍රවර්ධන හා උසස් අධාපන අමාත්‍යවරයා හා භාණ්ඩාගාර ලේකම්වරයා හා මහබැංකු අධිපති සහභාගී වූ 2015 පෙබරවාරි මස 26 වැනි දින පවත්වන ලද රැස්වීමකදී මහාමාර්ග සහ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මුදල් සැපයීම පිණිස කඩිනමින් දළ වශයෙන් රුපියල් බිලියන 15ක අමතර මුදලක් අවශ්‍යවන බව තීරණය කරන ලදී” ප‍්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය කියන්නේ මෙම බිලියන 15ක මුදල ලබාගන්න 27වැනිදා බැඳුම්කර නිකුත්කළ බවයි. නමුත් එය සිදුවිය නොහැක්කක්.
ඒ වගේම ප‍්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පසුගිය රජයේ ගනුදෙනු ගැනද සඳහන් කරනවා. ”පසුගිය දශකයේදී මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ අතුරු පාර්ශ්ව සහ ව්‍යාපාර රාජපක්‍ෂ පාලනය සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් පාලනය කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ගනුදෙනු පිිළිබඳ ඉතා වැදගත් තොරතුරු ඔවුන් වෙත ලැබීම ඉන් අයුතු ලාභ ලබාගැනීමට භාවිතා කරන ලදී” පහුගිය රජය කාලයේ කිහිප දෙනෙක් අතරේ මෙම ගනුදෙනු සිදුවූ බව මුළු රටම දන්නා කරුණක්. ප‍්‍රශ්නය තිබෙන්නේ එවැනිම ආකාරයේ ගනුදෙනු මේ ආණ්ඩුව යටතේත් සිදුවන එකයි. පසුගිය ආණ්ඩුව සමයේ ඊ.ටී.එෆ්. අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම වැනි ගනුදෙනුවලට පර්පර්චුවල් ටේරෂරි ආයතනය සම්බන්ධ බවට දැනගන්නට ලැබී තිබෙනවා.
එනිසා එම ආයතනය පහුගිය ආණ්ඩුව සමඟ කළ ගනුදෙනු සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ පැවැත්විය යුතුයි. මේවන විට එම ආයතනයෙන් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා ඉල්ලා අස්වුණ බවක් කියනවා. එසේනම් එම තනතුරට පත්වූ කෙනා රටට ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම එම බෑනා නිල් බලකාය සමඟ ගනුදෙනු තිබුණු බවක්ද කියවෙනවා. මේ සියලූ කරුණු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්විය යුතුයි.
රුපියල් මිලියන 5000ක් 12.5%ක පොලී අනුපාතයකට ඉල්ලන්න එම ආයතනයට විශ්වාසයක් ලැබුණේ කොහොමද? එමෙන්ම මහ බැංකුවෙන් රුපියල් මිලියන 10,000ක් නිකුත් කරන බව දැනගත්තේ කොහොමද? එම ආයතනයට මේ තරම් විඥ්ඥාණයක් ලැබුණේ කොහොමද? එවැනි අනාගතය කීමේ හැකියාවක් එම ආයතනයට තිබෙනවා නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අනාවැකි කියන්න තිබුණේ සුමනදාස මහතා නොව පර්පර්චුවල් ටේරෂරි ආයතනයයි. මේ ආයතනය මහ බැංකුව සමඟ කළ ගනුදෙනුවට පෙර පසුගිය 24, 25, 26 දිනවල වෙනත් මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබූ කුඩා බැඳුම්කර පාඩු පිට විකුණා දමා ඇති බව දැනගන්නට ලැබුණා. එහෙම කළා නම් එවැනි ගනුදෙනුවකට යන්න ඔවුන් විශ්වාසය හදාගත්තේ කොහොමද?
මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 24 වැනිදා රැස්වෙලා තිබෙනවා. එහි තොරතුරු එළියට ගියාද කියලා සැකයක් තිබෙනවා. එම තොරතුරු අනුව මහ බැංකු අධිපතිගේ බෑනාගේ ආයතනය වෙනත් ආයතනවල ආයෝජනය කර තිබූ බැඳුම්කර පාඩුවට විකුණා මහ බැංකුවේ ගනුදෙනුවට ආවාද කියලා සැකයක් තිබෙනවා.
එම නිසා මෙම ගනුදෙනුව පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් ඕනෑ. මේ වනවිටත් ජනාධිපති කමිටුවක් පත්කර තිබෙනවා. එයින් සෑහීමකට පත් නොවී විධිමත් පරීක්‍ෂණයක් ඕනෑ.
මෙය කඩෙන් බඩු ගන්නවා වගේ සරල ගනුදෙනුවක් නොවෙයි. මහ බැංකුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටෙන්න පුළුවන්. රටේ සිදුවන ගනුදෙනුවල පොලී අනුපාතය වෙනස් වෙනවා. ආර්ථිකයත් වෙනස් වෙනවා. මහ බැංකුව මෙවැනි ගනුදෙනුවක් සිදුකිරීමෙන් අර්බුද හැදෙන බවක් දැනගෙන හිටියේ නැද්ද? ආණ්ඩුවට රුපියල් මිලියන 15,000ක මුදලක් අවශ්‍ය කර තිබුණා නම් ඇයි රු මිලියන 1000ක බැඳුම්කර නිකුත් කරන්නේ? රුපියල් මිලියන 15,000ටම බැඳුම්කර නිකුත් කළා නම් එයින් සාධාරණයක් ඉටුවෙනවා. එනිසා තමයි මෙය අසාමාන්‍ය ගනුදෙනුවක් වෙන්නේ.
මේ පරීක්‍ෂණයට පෙර මහ බැංකු අධිපතිවරයා තාවකාලිකව ඉල්ලා අස්විය යුතුයි. එහෙම වුණොත් පමණයි විනිවිදභාවයක් හැදෙන්නේ. පර්පර්චුවල් ටේරෂරි ආයතනය මහබැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ ආයතනයක් බව හෙළිවෙලා තිබෙන නිසා පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල අනුව නැවතත් මහ බැංකු අධිපතිවරයාට වැඩ බාරගන්න හෝ ඉවත් වෙන්න පුළුවන්. අපි මීට පෙරත් මෙවැනිම චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ සභාපතිට එරෙහිව. අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණ නිසා ඔහුට කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අපි කියා සිටියා. නමුත් ඔහු ඉල්ලා අස්වුණේ නැහැ. අපි කළ පැමිණිල්ල පරීක්‍ෂණයකින් තොරව ඉවත් කළා. නමුත් මුළු රටම දැනගත්තා වැරදිකාරය කවුද කියලා.
ලංකාවේ සිදුවන මූල්‍ය ගනුදෙනු පිළිබඳව විශ්වාසය රැුකිය යුතුයි. ජනතාවට මෙවැනි සංකීර්ණ ගනුදෙනු සම්බන්ධයෙන් සංවේදීතාවයක් නොතිබුණාට මෙය රටට වඩා බරපතළ දෙයක්. වෙනත් රටක නම් විෂය භාර ඇමතිවරයා මීට වඩා වගකීමකින් මැදිහත් වෙනවා. හරිනම් අපේ රටේ මුදල් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි. නමුත් අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ රටේ එවැනි දෙයක් සිදුනොවන බව අපි කවුරුත් දන්න නිසා. නමුත් අපි පැහැදිලිව කියනවා පරීක්‍ෂණය අවසන් වන තුරු මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි.
මේ අතර භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේ දී කිසිඳු වංචාවක් සිදුව නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අද කොළඹ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් මෙවැනි ගැටළුවක් නිර්මාණය කර ඇති බවයි.මාධ්‍ය කල ප්‍රශ්න කිරිම් සදහා ඇමතිවරයා මෙසේ පිලිතුරු දුන්නා.
“ඉතින් මේකේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කූට ක්‍රියා නවත්තලා තියෙන නිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් එකේ ගන්න ගිය කොටස්කරුවන් අන්න ඒ වගේ අය තමයි මේවා කරන්නේ. ඉතින් අපි ඒවා හෙළිකරන්න වැඩිකල් ගන්න නිසා අපේ පිරිසිදු පාලනයට, මේවට මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදන පුද්ගලයින්ට කියන්නේ කරුණාකර අපේ පිරිසිදු පාලනයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.”
මාධ්‍ය: දැන් ඔබතුමා කියන්නේ මෙතන වංචාවක් සිදුවෙලා නැහැ කියලද?
කිසිසේත්ම නැහැ.
බැදුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති කමිටුවෙන් සත්‍ය කුමක්දැයි හෙලිවනු ඇතැයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
ආන්දෝලනයට තුඩු දී ඇති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කඩිනම් කරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම කමිටු සභාපති ගාමිණි පිටිපන මහතාට නියෝග කර තිබෙනවා. අදාල වෙන්දේසිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් ඊයේ පත්කෙරුණා. මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනමින් අවසන් කර එහි වාර්තාව තමන්ට ලබා දෙන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙන්නේ.
මෙම භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් දැනට විදේශ ගතව සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර දුරකථන සංවාදයක් ද ඊයේ පැවැත්වුණා.
Leave a Reply