‘පෝර්ට්‌ සිටි’ සංවර්ධන ව්‍යාපෘතිය නවතයි.

 

33131313`13

වහාම ක්‍රියාත්මක වන පරිදි වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය.

අදාළ ආයතනවලින් විධිමත් අනුමැතියක්‌ නොගෙන මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යන වග එම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති මණ්‌ඩල අනුකාරක සභාවට ඉදිරිපත් කළ අතුරු වාර්තාවේ සඳහන් බවද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ කටයුතු තාවකාලික අත්හිටුවීමට තීරණ කළ බවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් අදාළ ආයතනවලින් ලබාගෙන ඇති අනුමැතීන් සති දෙකක්‌ ඇතුළත ඉදිරිපත් කරන ලෙස එම සමාගමට දැනුම් දුන් බවත් හෙතෙම පැවසීය.

සති දෙකකින් අනතුරුව නැවත මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් රාජිත සේනාරත්න මහතාගෙන් විමසුමකදී හෙතෙම සඳහන් කළේ එම කාලය අවසන් වූ පසු ඒ ගැන බලමු යන්නයි. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොබෝ දිනකින් චීන සංචාරයක නිරත වීමට නියමිත බවත් හෙතෙම සිහිපත් කළේය.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමේ ප්‍රායෝගික බව තමන්ට නොවැටහෙන බව කියා සිටි රාජිත සේනාරත්න මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි සමයේදී සිංගප්පුරු සමාගමක්‌ මගින් මෙම ව්‍යාපෘතියම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බවත් කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවන්නේ නම් මුහුද ගොඩ කළ ගල් ඉවත් කිරීමට යන වියදම ඉංජිනේරුවන්ගෙන් දැන ගත යුතු යෑයි ද හෙතෙම පැවැසීය.

තමන් මේ පිළිබඳ දක්‌වන පුද්ගලික අදහස මතු දවසක මාධ්‍යයට පවසන බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) එම අදහස්‌ පළ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.