කන්කසන්තුරේ ජනාධිපති මන්දිර කතාව බොරු; හිටපු ජනපති පවසයි

Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka

සිය පාලන සමය තුළ යාපනය, කංකසන්තුරේ ප‍්‍රදේශයේ ජනාධිපති මන්දිරයක ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි ඉකුත් දිනවල පළවූ වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතික්‍ෂේප කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 1980 දශකයට පෙර නම් යාපනය කොටුව තුළ ජනාධිපති මන්දිරයක් පිහිටුවා තිබුණු බවයි.
අදාල මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙනවා.

මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු ජනාධිපති මන්දිරයක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. 1980 ගණන් වලදී කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන තුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුව තුල තිබුණු බව මෙහිදී මතක් කර දිය යුතුය. එය අද දක්වාම නැවත ඉදිකර නැත. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයකි. එහි ඉදිකිරීම් කටයුතු භාරව හිටියේ නාවුක හමුදාවයි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනාක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙලුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.

කන්කසන්තුරේ හා ආරුගම්බේ යන ස්ථානවල ඉදිවෙම්න් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොයෙක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලටත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් හා වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සදහාත් මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට සැලසුම් කර තිබුණි. සාමය උදාවීමත් සමග මේ ප්‍රදේශවලට යන එන දෙස් විදේස් අමුත්තන්ගේ ගණන විශාල වශයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම් ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි. මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය.
මේ සාවද්‍ය ප්‍රචාර වලින් නොමග නොයන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති