මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)

“මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ.

මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ.

මහනුවර පැවැත්වෙන ජනහමුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්‌ සහභාගි වනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන් කරයි.

මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර හා පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු තවත් දේශපාලන නායකයන් මෙම රැළිය අමතනු ඇත.

මෙහි පළමු රැළිය පසුගිය 18 වැනිදා අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් නුගේගොඩ නගරයේදී පැවැත්වුණි.

හිටපු ජනාධිපති මහිsන්ද රාජපක්‌ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‌ෂක කිරීම සඳහා මහජන බලය ගොඩනැංවීමට මෙම ජනහමු මාලාව රටපුරා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරන ලෙස ඉල්ලා මහනුවර නගරයේ මෙම 6 වැනිදා පවත්වන රැස්‌වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (3 දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම රැස්‌වීමට සහභාගි වන ලෙසත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉහළ මට්‌ටමේ නායකයන් ඇතුළු සියලු දෙනාට සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නියෝජිතයන් සියල්ලන්ට ආරාධනා කළ බවද ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයක්‌ යළි ඇතිකරලීමේ ඒකායන මතයක්‌ ගොඩනැංවීම සඳහා පසුගියදා නුගේගොඩදී පැවැති රැස්‌වීමට පසුව මහනුවර දුම්රිය ස්‌ථානය ඉදිරිපස භූමියේදී පවත්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්‌කාර සහ විමල් වීරවංශ යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ පළ කළහ.