එයා තමයි… නැ එයා නෙමෙයි: කවුද ශ්‍රි ලංකා සභාපති ?

07_srilanka_r_w-None_LRG

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹී බව එම පක්ෂයේ නි‍යෝජිතයින් පිරිසක් කොළඹ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නි‍වසේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෙජිනෝල්ඩ් කුරේ, සරත් අමුණුගම, අතාවුද සෙනෙවිරත්න, එස්.බී නාවින්න, දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

පක්ෂයේ සභාපතිව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට වැඩ කළ නමුත් ඔහු පරාද වූ බවත්, පක්ෂයේ ලේකම් ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ බවත්, ඒ මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ “අප්පච්චිට ආදරෙයි නමුත් අප්පච්චි මැරුණා ඒ කියලා අප්පච්චිගේ මළකඳ ගෙදර තියාගන්නේ නෑනේ” යනුවෙනි.

ඒ අනූව අද රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනපති වූ මහින්ද රාජපක්ෂ මහතාත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් , පක්ෂයේ අනුශාසකවරුන් ලෙස පත් කළ බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂ මධ්‍යම කාරක සභාව නැවත පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත අනුව බවත්, එහි මධ්‍යම කාරක සභිකයින් 42ක් සිටින බවත් ඒ මහතා පවසයි.

අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, කුමාර වෙල්ගම, රත්නසිරි වික‍්‍රමනායක, ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, මහින්ද සමරසිංහ ඇතුළු හිටපු අමාත්‍යවරුන් රැසක් මෙන්ම පළාත් කිහිපයක මහඇමතිවරුන් ද මෙම රැස්වීමට සහභාගිවීම සඳහා පැමිණ සිටියා.