2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය.

Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka

ජාතිය නැංවීමේ අනාගත බලාපොරොත්තු රාශියක් සමග එළැඹි නව වසරට පා තබන්නේ එම ප‍්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා කැප වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයක දැක්වෙන්නේ ගෙවී ගිය දශකයේ සෑම වසරකම ආරම්භයේ ඇති කරගත් ප‍්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීමට හැකි වූ බවයි.  දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැගූ මාතෘ භූමිය සුරක්ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ සිය ප‍්‍රාර්ථනාව වන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ජාතියේ ජයග‍්‍රාහී වසරක් බවට මෙම වසර පත්කිරීමට සියලූ දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප‍්‍රාර්ථනා කරන බව ද එම නිවේදනයේ සඳහන්.

නව වසර වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යොමු කළ සුභපැතුම් පණිවුඩයක දැක්වෙන්නේ 2015 වසර එළැඹෙන්නේ ශ‍්‍රී ලංකා සමාජය තීරණාත්මක අවස්ථාවකට මුහුණදෙමින් සිටිද්දී බවයි. මෙම තීරණාත්මක මොහොතේ අනාගත පරම්පරාව වෙනුවෙන් බුද්ධිමත්ව තීන්දු හා තීරණයන්ට එළඹීමට සියලූ දෙනා කි‍්‍රයාකළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ද නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 2015 වර්ෂය සැබෑ ලෙසම සුභ නව වසරක් වේවායි ප‍්‍රාර්ථනය කරන බවත්, එම නිවේදනයේ සඳහන්.