අධික වැසි: 35,000කට පීඩා.

Residents-walk-along-a-fl-006

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම පුද්ගලයන්ට අවශ්‍ය සහන සැලසීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි.

උතුරු මැද පළාත ඇතුළුව දිවයිනට ඇදහැලෙන ධාරාණිපාත හේතුවෙන් මේ වනවිට කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටව ඇති බවද සදහන්.එමෙන්ම, මල්වතු ඔය පිටාර ගැලීමත් සමඟ අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහල ජලයෙන් යට වීම නිසා එම රෝහලේ නේවාසික රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා. කලාඔය පිටාර ගැලීමෙන් හේතුවෙන් පුත්තලම – පරණ එළුවන්කුලම ගම්මානයේ ජලගැලීම් තත්ත්වයක් හටගත් අතර, එහි සිර වී සිටි පවුල් 80 ක සාමාජිකයින් ගලවා ගැනීමට කටයුතු කළේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්.

අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්කවල ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත් සහ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි.