අයවැය උණුසුම: එනවා කියු අයත් යනවා කියු අයත් තාම නැත…

65

2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24 දා) පාර්ලිමේන්තුව ඉතා උණුසුම්කාරී තත්ත්වයක්‌ ගනු ඇතැයි අපේෂා කෙරෙනවා.

ආණ්‌ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වෙද්දී ඇමැති රාජිත සේනාරත්න මහතා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක, පත්කළ මන්ත්‍රී මහාචාර්ය රජීව් විඡේසිංහ, ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වසන්ත සේනානායක, නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පෙරුමාල් රාජදොරේ යන අය ඔහුට සහාය දීම සඳහා ආණ්‌ඩුවෙන් ඉවත් වූහ.

ඒ අනුව මේ වන විට එම ආණ්‌ඩුවේ සංයුතිය මන්ත්‍රීවරුන් 161 සිට (කථානායකවරයා හැර) 155 දක්‌වා අඩු වී ඇත.

අයවැය ඡන්ද විමසීමට පෙර උදෑසන 9.30 සිට මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වේ. මෙම විවාදය අතරතුරදී ආණ්‌ඩු පක්‍ෂයෙන් මැති ඇමැතිවරු කිහිපදෙනෙක්‌ මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්‌වමින් ආණ්‌ඩුවෙන් ඉවත්වීමේ සූදානමක්‌ ඇතැයි මුලින් ප්‍රකාශ වුවද තවමත් එවැනි පුවතක් වාර්ථාවී නොමැත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්‌තෝබර් 24 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට පසු දා එනම් ඔක්‌තෝබර් 25 දා සිට අද දක්‌වා පුරා මාසයකට ආසන්න කාලයක්‌ අයවැය දෙවැනි වර කියෑවීමේ විවාදය සහ කාරක සභා අවස්‌ථාවේ විවාදය පැවැත්විණි.

කෙසේවෙතත් පසුගියදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි ජාතික හෙළ උරුමය ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර ඔවුන් අද දිනයේ ද ඡන්දය ලබාදිමෙන් වැළකී සිටින බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදි අයැවයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද අයැවයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ පැවසුවේය.

මේ අතර මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේ අයැවයට ඡන්දය ලබාදීම පිළිබඳව අද පෙරවරුවේ සලකා බලන බවයි.

මේ අතර අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේ දි අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව දෙමළ ජාතික සන්ධානය පැවසුවේය.