පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

 

maithripala_sirisena

පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි.
මෙම මාධ්‍ය හමුවට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක්ව සිටිනවා. ඊට අමතරව රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ද සහභාගි වනවා.

නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා සමග සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ මහතා ද මේ වන විට විපක්ෂයේ පොදු අපේ්ක්ෂකයාගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා.
ඊයේ විපක්ෂයට එක් වූ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වසන්ත සේනානායක මහතා හා අර්ජුන රණතුංග මන්ත‍්‍රීවරයා ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ අසුන් ගෙන සිටිනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනූව ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා කියයි.

කොළඹ නව නගර ශාලාවේදී දැන් පැවැත්වෙන “ මෛත්‍රී පාලනයක් ගොඩනගමු” තේමාව යටතේ පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර 2015 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කර ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එසේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකවරයා ලෙස පත් කිරීමට ද යෝජනා කෙරුණු බව ඒ මහතා කියයි.

කෙසේ වුවද ඉහත සියලු තීන්දු අද පස්වරු 4.00ට රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.