උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…

adiwegeee uthura

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 350 කි. වත්තල එඬේරමුල්ලෙන් ඇරඹෙන උතුරු අධිවේගි මාර්ගය මංතීරු හතරකින් සමන්විත වන අතර අනාගත අවශ්‍යතා පරිදි මංතීරු හය දක්වා පුළුල් කිරීමට ඉඩ සැලසෙන පරිදි සැලසුම් කර තිබේ.

අදියර අටකින් සමන්විත උතුරු අධිවේගි මාර්ගයේ ප්‍රථම අදියර දඹුල්ල දක්වා ඉදිකෙරෙන අතර එහි පිවිසුම් මාර්ග ලෙස ගම්පහ, වේයන්ගොඩ, මීරිගම දකුණ, මීරිගම උතුර, නාකලගමුව, පොතුහැර අන්තර් හුවමාරුව, දම්බොක්ක, කුරුණෑගල, රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, නාරංවල අන්තර් හුවමාරුව, ගලගෙදර, රඹුක්කන, අලදෙණිය, ගන්නෝරුව, දඹුල්ල ඒ – 09, දඹුල්ල පවතියි.

දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමුඛස්ථානය දෙමින් ඉදි කිරීමට යෝජිත උතුරු අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගේ තාක්ෂණ ඥානයෙනි.
එඬේරමුල්ලෙන් ආරම්භ කර ගම්පහ නගරය පසු කරන තෙක් ගුවන් මාර්ගයක් ලෙස ඉදි කරන උතුරු අධිවේගි මාර්ගය දඹුල්ලේ සිට යාපනය දක්වාත්, දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වාත්, කුරුණෑගල සිට මහනුවර දක්වාත් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.