උණුසුම් රැස්විම් දෙකක් කොළඹ.

rathana gunadasa

අතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ  සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම පරදවමු” යන මැයෙන් විශේෂ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (12) පැවැත්වේ.
“පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන සමුළුව සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ සිවිල් සමාජ සංවිධාන හා සමාජ ක්‍රියාකාරියෝ රැසක් සහභාගි වෙති.
මෙම සමුළුවට මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණු නායක මනෝ ගනේෂන්, ලංකා සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහභාගි වෙති. විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කරන ලෙසට එහිදී බලපෑම් කරනු ඇත.
මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලබන සමුළුව සඳහා දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමි, අස්ගිරි විහාරවාසී මැදගම ධම්මානන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පන්සිය නමක් සහභාගි වෙති.
දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවකද මෙම සමුළුවට ආරාධනා ලැබ සිටිති. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාය.
මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ මෙම සමුළුවට තම පක්ෂයේ නියෝජිතයෙක් හෝ ඇමැති පාඨලී චම්පික රණවක මහතා සහභාගි නොවන බව ජාතික හෙළ උරුමය ඊයේ (11) නිවේදනය කළේය. මෙය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා පැවැත්වෙන සමුළුවක් බව තම පක්ෂයට ආරාධනා කරමින් එවා තිබූ ෆැක්ස් පණිවුඩයේ සඳහන් නොවූ බවද එම පක්ෂය පවසයි.
එමෙන්ම එම ෆැක්ස් පණිවුඩය හැර එම සංවිධාන එකමුතුවේ කිසිදු නියෝජිතයෙක් තම පක්ෂයේ කිසිවෙක්ට මේ සඳහා පිළිගත් සාම්ප්‍රාදායානුකූල ආරාධනාවක් නොකළ බවද එම පක්ෂය පවසයි.