මැයි දින පණිවුඩ…

23576898737

කම්කරු හිතෛෂී පාලනයක් තුළින් නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැයි දින සැමරුමක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වැඩකරන ජනතාවට අවශ්‍ය නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත් සංවිධානය වීමේ හා කි‍්‍රයාකාරී වීමේ නීතිමය අයිතියත් මේ වන විට රට තුළ ස්ථාපිත වී ඇති බවයි.

වැඩකරන ජනතාව අගාධයට ඇදදමන කුමන්ත‍්‍රණ වර්ධනය වෙමින් පවතිනවා. පටු දේශපාලන අපේක්ෂා මුල්කරගත් එම කුමන්ත‍්‍රණ කම්කරු ජනතාව විසින් පරාජය කරනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර වැඩකරන ජනතාවට සහන හා වරප‍්‍රසාද සැලසෙන සමාජ පරිසරයක් උදාකර ගැනීම මෙවර මැයි දිනයේ අභියෝගය බව එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මැයි දින පණිවිඩයෙන් පවසයි.

දිනෙන් දින පිරිහෙමින් ඇති මාතෘ භූමියට යළි කීර්තිය හා සෞභාග්‍ය ගෙන ආ යුතු බවද වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ මැයි දින පණිවුඩයේ සඳහන් වෙයි.

ඒ සඳහා ” සියලු ප‍්‍රගතිශීලී බලවේග සමඟ අත්වැල් බැඳ සටන් වැදීමට මේ මැයි දිනයේ අධිටන් කරගනිමු ” යැයි ඔහු එම පණිවිඩයෙන් අවධාරණය කරයි.

මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණද පණිවුඩයක් නිකුත් කර තිබේ.

ධනවාද විරෝධි පුළුල් පෙරමුණ වටා මතවාදීව සහ සංවිධානමය වශයෙන් පෙලගැසිය යුතු කාලය එළඹ ඇති බව එම පණිවිඩයේ දැක්වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ ඊට නායකත්වය සැපයීමට සුදානම්ව සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.