වමේ පක්ෂවල මැයි දින සුදානම.

2014.04.30

ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වයත් සමඟ මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කෙරෙන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්‍ෂ මැයි දින රැලිය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මැයි දින පෙළපාළිය දහවල් 12ට දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භව සරණංකර මාවත, පාමංකඩ පාර, හැව්ලොක් ටවුම හරහා බී. ආර්. සී. පිටියට ළඟා වනු ඇත. මෙවර මැයි දින රැලියේදී විශේෂ යෝජනා 12ක්ද සම්මත කර ගැනීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

ආණ්ඩු පක්‍ෂය කොළඹ කැම්බල්පිටියේදී මෙවර පවත්වන මැයි දින රැලියට ආණ්ඩුවේ ප්‍රධාන සාමාජික පක්‍ෂ වන ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්‍ෂය එම රැලියට සහභාගි වන්නේ නැත. ආණ්ඩු පක්‍ෂයේ මැයි පෙළපාළියටද සහභාගි වන්නේ නැත.

එම පක්‍ෂවල එකතුවෙන් සැදුම්ලත් සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින රැලිය සවස 4ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහලේදී පැවැත්වේ. එම පක්ෂවල පෙළපාළිය ඇරැඹෙන්නේ කිරුළපන නගර ක්‍රීඩාංගණයෙනි.

රැලිය පැවැත්වෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් වන තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
පසුගිය වසරේ මැයි දින රැලියක් හා පෙළපාළියක් පැවැත්වීමට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ කටයුතු කළත් මෙවර මැයි දින රැලියක් හෝ පෙළපාළියක් නොපැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.
ඒ වෙනුවට පක්‍ෂ සමුළුව මේ මස 5 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇත.