සී/ස ෆෙන්ටන්ස් සමාගම සී/ස හේලීස් ෆෙන්ටන්ස් නමින් ඉදිරියට

හේලීස් එකතුවෙන් වසර 7ක අති දැවැන්ත වර්ධනයක් සමඟ අනාගතයට අසමසම වටිනාකම් රැසක්.ශතවර්ෂයකට එහා ගිය උරුමයකට හිමිකම් කියන්නාවූ, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයතම ඉංජිනේරු සේවා සපයන්නෙකු වන ෆෙන්ටන්ස් සමාගම,  මෙරට විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ‘හේලීස් සමූහ ව්‍යාපාරය’ හා එක්වීමත් සමඟ එහි නම හා අනන්‍යතාවය, නෛතික වශයෙන් තම ආයතනය ට එකතු කරගැනීම ආයතනය මෙතෙක් ආ මඟෙහි ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

සී/ස හේලීස් ෆෙන්ටන්ස් සමාගම වසර සියයකට අධික කාලයක් පුරා, විශ්වාසනීයත්වය, ගුණාත්මක බව හා විශිෂ්ට සේවාව සඳහා කීර්තිමත් නාමයක් දිනාගත් විශ්වාසනීය ඉංජිනේරු සේවා සැපයුම් සමාගමකි.

හේලීස් හා ෆෙන්ටන්ස් සමාගම් දෙකෙහි සුසංයෝගය 2016 වසරේදී හේලීස් සමාගම විසින් ෆෙන්ටන්ස් සමාගමේ 75%ක කොටස් මිළදී ගැනීමත් සමඟ ආරම්භ වුණු අතර,  2023 වසරේ දී 99.98%ක කොටස් අත්පත් කර ගැනීමත් සමඟ එම හිමිකාරීත්වය තවදුරටත් වර්ධනය වීම සිදුවිය. එම වර්ශය තුල දීම, දේශීය හා විදේශීය වෙළඳපොළ වර්ධනය කරගැනීමටත්, ආයතන දෙකෙහිම වටිනාකම් හා ශක්තීන් මුහු කරගැනීමටත් ෆෙන්ටන්ස් ආයතනය තම අනන්‍යතාවය සී/ස  හේලීස් ෆෙන්ටන්ස් සමාගම යනුවෙන් නව්‍යකරණය කරන ලදී.

2023 වර්ශයේ දෙසැම්බර් මස 11 වන දින නීතිමය ලෙස වෙනස්  වූ ආයතනයේ නව සන්නාමකරණය 2024 වසරේ ජනවාරි පළමු දින සම්පූර්ණ කරන ලද අතර, එදින සිට ඉදිරියේ දී සියලු අවස්ථාවන්හී දී ආයතනය සී/ස  හේලීස් ෆෙන්ටන්ස් සමාගම ලෙස හැඳින්වෙනු ඇත.

මෙම දැවැන්ත ආයතන දෙකෙහි සන්නාමයන්හි එකතුවෙන් තනි සන්නාමයක් ලෙස ඉදිරියට රැගෙන යාමටත්,  සූර්ය බල (Solar Power), තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT Systems), විදුලිබල හා ආලෝකකරණය (Electrical & Lighting), ගිනි ආරක්ෂණ විසඳුම් (Fire Safety Solutions), වායු සමීකරණනය (Air Conditioning) හා වාතනනය (Ventilation), ජලනළ හා වායු (Plumbing & Gas), ආරක්ශණය හා සන්නිවේදනය (Security & Communication), අඛණ්ඩ විදුලි සැපයුම හා බැටරි බැකප් පද්ධති (Uninterrupted Power Supply & Battery Backup), සේවා පහසුකම් කළමනාකරණය (Facilities Management), කාර්මික උපාංග වෙළෙදාම (Industrial Accessories Trading), වාස්තු විද්‍යාත්මක ඇඳීම් හා 3D දෘශ්‍යකරණය (Architectural Drawings & 3D Visualization), ඇතුළු විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර  පුරා සමාගමෙහි අනන්‍යතාවය ශක්තිමත් කිරීමටත් මෙම පියවර ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙරට ඇති  විශාලතම විවිධාංගීකරණයකින් යුත්, ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් සමූහය, ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍ර 16ක් ඔස්සේ තම ව්‍යාපාරය වර්ධනය කොටගෙන ඇති අතර, ප්‍රධාන ගෝලීය ව්‍යාපාර අංශ කිහිපයකම හිනිපෙත්තටම පැමිණි දැවැන්තයෙකු ලෙස හැඳින් විය හැක. දිවයින පුරා පැතිරී ඇති සැපයුම්දාම , කෘෂිකාර්මික ජාල බෙදාහැරීම් නාළිකා, හා පාරිභෝගික කාණ්ඩ සමඟ අසමසම සබඳතාවයන් ගොඩනගා ගෙන ඇති හේලීස් සමූහ ව්‍යාපාරය, රටේ විදේශ ඉපැයීම්වලින් ඩොලර් මිලියන 650 කට වැඩි ප්‍රමාණයක් සහ ජාතියේ මුළු අපනයන ආදායමෙන් 5.5% කට වඩා දායකත්වයක් සපයමින්, ශ්‍රී ලාංකික සමාජය වෙනුවෙන් විශාල වශයෙන් වටිනාකම් නිර්මාණය කරන, ආර්ථික හා සමාජීය වශයෙන් බලපෑමක් කළහැකි මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයන්ගෙන් එකකි.

‘හේලීස් සමූහය හා එකතුවීම, ෆෙන්ටන්ස් ආයතනයේ අනාගතය වෙනුවෙන් ගත් ඉතා වැදගත් පියවරක්. ආයතන දෙකේම සන්නාමයන් වගේම දීර්ඝ ඉතිහාසයන්ගේත්, විවිධ වූ හැකියාවන්ගේත් එකතුවක් ලෙසයි මෙය අපි දකින්නේ. හේලීස් සමූහය සමඟ එකතුවීමත් සමඟ ෆෙන්ටන්ස් ආයතනය අත්කරගෙන ඇති පාරිසරික, සමාජීය හා මූල්‍යමය වර්ධනයෙන් පෙනීයන්නේ මේ එක්වීම තුල ඇති දැවැන්ත ශක්තිය’යි හේලීස් සමාගමෙහි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා පවසා සිටියේය.

මෙම ඓතිහාසික සංධිස්ථානය පිළිබඳ තම සතුට ප්‍රකාශ කළ සී/ස  හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා, හේලීස් සමූහයේ වටිනාකම් හා ප්‍රමිතීන් ට අනූකූලව, විශිෂ්ටත්වය හා නව්‍යකරණය කෙරෙහි කැපවීමෙන් කටයුතු කිරීමට හේලීස් ෆෙන්ටන්ස් ආයතනය බැඳී සිටින බව අවධාරණය කර සිටියේය.

“පසුගිය අවුරුදු හතර තුල හේලීස් ෆෙන්ටන්ස් සමාගම සැලකිය යුතු පරිවර්තනයකට ලක් වී තිබෙනවා. 2023 වර්ෂයේදී අපි මෙගාවොට් 150ක  සෝලා පද්ධති ස්තාපනය නිම කරමින් , මෙරට සූර්ය බල එහෙමත් නැතිනම් සෝලා ක්ෂේත්‍රයේ මූලිකත්වය තවදුරටත් සනාථ කලා. ඒ වගේම 2022/23 වර්ෂයේ දී ප්‍රථම වරට බිලියන එකක ලාභයක් උපයමින් ආයතනයේ වැදගත් සංධිස්ථානයක් පසුකරා. ඒ වසරේ දීම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ව්‍යාපාර විශිෂ්ටතා සඳහා පිදෙන රිදී සම්මානය දිනාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයන් කිහිපයක් අප ආයතනය ලබාගත්තා.අපේ ගමන් මඟේ සුවිශේෂී සංධිස්තාන වන මේ ජයග්‍රහණ වලින් පැහැදිලි වෙන්නේ හේලීස් සමූහය හා එක්වීමෙන් මුවහත් වුණු වසර ගණනාවක් පුරා ගොඩ නගා ගත් මේ ආයතනයේ විශිෂ්ටත්වයයි”.

සී/ස හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ නව අනන්‍යතාවය, ආයතනයේ කොටස්කරුවන්, පාරිභෝගිකයන්, හවුල්කරුවන් මෙන්ම දේශයටම නව බලාපොරොත්තු රැගෙන එන සුභ පරිච්ඡේදයක් වනු ඇති බවට ප්‍රේමතිලක මහතා තවදුරටත් පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *