අලුත් නැව එනතුරු අදින් පසු ගෑස් නැහැ

අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය සමාගම සතුව පවතින්නේ එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 පමණක් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු පෝලිම්වල රැඳී නොසිටින ලෙසටද ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර ඩීසල් නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල් සියයට 50 ක් පමණ වසා දමා ඇති බව ද වාර්තා වුණා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව දින කිහිපයකට ප්‍රමාණවත් ඩීසල් තොග තිබුණු ද මේ වන විට බෙදාහැරීම් සීමා කර ඇති බවයි වාර්තා වුණේ. 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ඩීසල් ගොඩබෑම මේ වන විටත් සිදුවෙමින් ඇති බවයි.

එම තොගය ගොඩබෑමට පෙර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 18,000 ක්, 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 33,498 ක් සහ 95 වර්ගයේ පෙට්්‍රල් මෙට්ට්‍රික් ටොන් 13,067 ක් තිබෙන බවද අමාත්‍යවරයා ඊයේ පැවසුවා. 

කෙසේවෙතත් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද මේ වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් තොග ද නොමැති වීමෙන් වසා දමා තිබෙනවා. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *