රට නැවත ගොඩනගන්න පොදු ජාතික වැඩපිළිවලක් සැකසිය යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි වසර 20 ක් 25 ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙලක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් එජාප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් විමසු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළකරමින් එතුමා මේ බව සඳහන් කර සිටියා.

එවැනි ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් ලැබුනහොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එම හමුවට පැමිණ සිටි තරුණියක් විමසා සිටි අවස්ථාවේදී හිටපු අගමැතිවරයා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ රට මුහුණදී සිටින බරපතල අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා එක්වී පොදු විසඳුමකට පැමිණිය යුතු බවයි.

”දැන් විපක්ෂය බෙදිලා, ආණ්ඩුව බෙදිලා, මේ විදියට තව මාස කීපයක් ගියොත් රට මුලුවනින්ම අරාජික වෙනවා. මේ ඡන්ද තිය තිය ඉන්න වෙලාවක් නෙමෙයි. ආර්ථික අර්බුදය එච්චරටම දරුණුයි. ඒ අර්බුදේ විදන්ද ගත්තට පස්සේ ඡන්දයක් තිව්වට ප්‍රශ්නයක් නැ ..” හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර ජාතික ආණ්ඩු කතාබහ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද අද පාර්ලිමේන්තුවේදී හිටපු ඇමතිවරයා ගෙන් විමසා ඇති බව වාර්තා වනවා.

” ඔබතුමා අගමැතිවෙලා ආණ්ඩුවට එකතුවෙන්න යනවා කියල කතාවක් යනවා එක ඇත්ත ද? ” එම මන්ත්‍රීවරුන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් හිටපු එතුමා කියා ඇත්තේ  ” මම අගමැති වුණාම ඔයාලටත් ඇමතිකම් දෙන්නම් කෝ..” යනුවෙන් බවයි වාර්තා වන්නේ.