ලක්ෂ දෙකකට බලපැ අයහපත් කාලගුණය.

extreme weather in srilanka

වැසි සමග ඇති වූ ආපදා අනතුරුවලින් මේවන විට පුද්ගල මරණ 8ක් වාර්තා වී තවත් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම 200,000ට පමණ බලපෑම් සිදුව ඇති අතර 136,466 දෙනෙකු ආපදා හේතුවෙන් අවතැන් වී ඇත.

අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය ආහාර පාන ඇතුළු පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව රජය පවසයි.

මේ අතර වැසි සමයත් සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව කඳවුරු 84ක් තුළ රැඳී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කඳවුරුවල ජීවත්වන ජනතාව වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටියේ දිස්ත්‍රික්ක මට්ටමින් ආපදා සම්බන්ධීකරණ වෛද්‍ය ඒකක ද පිහිටුවා ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර ඊට සම්බන්ධීකරණ නිලධාරීන් කණ්ඩායමක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ කඳවුරුවල ජීවත් වන ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම අවතැන්වූවන් සහ අනෙකුත් ජනතාව උණුකර නිවාගත් ජලය පමණක් භාවිතයට ගන්නා මෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  ඉල්ලීමක් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *