විවේචනය කරන්නන්ට ජනපතිගෙන් පණිවුඩයක්.

President of Sri Lanka Maithripala Sirisena

  සංහිඳියාව සහ යහපාලනය යන වචන දෙක ඇතැමුන් විසින් විවේචනය කරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ එම වචන දෙක තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“සංහිඳියාව යන වචනය සහ යහපාලනය යන වචනය අද ඇතැමුන් සමච්චලයට ලක් කරනවා. නමුත් අපට නින්දා අපහාස කරන අයට මම කියනවා මේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ ඒ වචන දෙක මතයි කියලා,” ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ‘සංහිඳියාව සහ සාහිත්‍ය රසාස්වාදනය’ මැයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උළෙලක් අමතමින්.

යහපාලනය සහ සංහිඳියාව වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම විවේචනයට ලක් වන වචන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීම සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා: ”ජාතික ගීය දෙමළෙන් ගායනා කරලා අවසන් වුනාට පස්සේ සුමාන ගාණක් තිස්සේ අන්තර්ජාලය තුළ මට කියන්න තියන ඔක්කොම කුණුහරුප කිව්වා. රට පාවා දෙන්නා කියලත් කිව්වා.”

තමා වසර එක හමාරකට ඉහතදී ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරන සමයේ එවකට ආණ්ඩුවේ නායකයන් සමග උතුරට ගොස් කෝටි ගණනක් වටිනා බඩු භාණ්ඩ බෙදා දුන් බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

“මම දවස් තුනකට කලින් උතුරට ගියා. මම තාම ඒ අයට කිසි දෙයක් දීලා නැහැ. බඩු බෙදලත් නැහැ,” යනුවෙන් පැවසීය.

බිඳුණු හදවත් සුවපත් කොට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා අතර සංහිඳියාව ඇති කිරීම දේශපාලනඥයන්ට පමණක් කළ හැකි කාර්යයක් නොවන බව කියා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සතුවද එහිදී වගකීමක් තිබෙන බව පෙන්වා දුන්නේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *