අලුත් පෙරමුණ ගිවිසුම් ගහයි; “ආපු අය” “නාපු අය” “නේන අය” මෙන්න..

signechar name

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අරලියග මන්දිරයේ දී අත්සන් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිගිය කණ්ඩායමක් අදාළ පෙරමුණ සඳහා එක්ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා පක්ෂ අතර  එකඟතාවක් ඇති කරගැනීමට යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා තිබෙන අතර,
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට “අලියා“ ලකුණ යටතේ තරඟ වැදීමට නියමිතයි.

ඒ අනුව රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික්කයෙන් ද පාඨලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කයෙන් ද අර්ජුණ රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද එම්.කේ.ඩි.එස්.ගුණවර්ධන ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ද හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද එක්සත් ජාතික  පෙරමුණ යටතේ “අලියා“ ලකුණින් තරඟවැදීමට නියමිතයි.

මේ අතර එ.ජ.නි.ස. බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ “අලියා”  ලකුණින් තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍රිකාවට අත්සන් තබා ඇති බවට වාර්තා වනවා.

තමන් මෙවර මහ මැතිවරණයට තරග නොකරන බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා.වසර 29ක් තමන් දේශපාලනය කළ බවද, තවදුරටත් දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක් නැති බවද, එජාපයට එක්නොවන බවද, ඒ මහතා පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවත්, ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු පක්ෂයකින් තරග නොකරන බවත්, උසස් අධ්‍යාපන අමාත්‍ය  සරත් අමුණුගම මහතා ද පවසා තිබෙනවා.

මින්පසු මැතිවරණ සඳහා ඉදිරිපත් නොවීමට තමන් තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිර්මල කොතලාවල මහතා පවසනවා.ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් ලැබුණ ද තමන් එය ප‍්‍රතික්ෂේප කරන බව ඔහු පවසා තිබෙනවා.

එ.ජ.නි.ස හැර වෙනත් කිසිදු පක්ෂයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ නොකරන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද පවසනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන්ට නාමයෝජනා නොලැබීමට හේතුව කුමක්දැයි හරිහැටි නොදන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසනවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක  සෝමවංශ අමරසිංහ මහතා තීරණය කර තිබෙනවා.තමන් සන්ධානගතවීමට සිටි පාර්ශවකරුවන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට තීරණය කර ඇති බැවින් සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිස මෙවර මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙටින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ  නාමයෝජනා භාරගැනීම හෙට මධ්‍යහන 12න් අවසන් වන  බවයි.