දැන් විපක්ෂේ අපි; බලය දෙන්න TNA ඉල්ලයි.

R.Sampanthan

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදෙන ලෙස ඉල්ලමින් කථානායක චමල් රාජපක්ෂ වෙත අද (10) ලිපියක් භාර දී තිබෙනවා. ඉලංකෙයි තමිල් අරසු කච්චි  විසින් කථානායක චමල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය තමාට ලැබීම වඩා සුදුසු යයි දන්වා තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කේ.තුරෙයිරාජ සිංහම්ගේ සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ගේ අත්සන් වලින් යුතුව මෙම ලිපිය කථානායකවරයාට යොමුකර තිබේ.

2000 දී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරීපත්ව පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලද දේශපාලන පක්ෂ 4ක් පවතින බව එම ලිපියේ දැක්වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය,එක්සත් ජාතික පක්ෂය,ඉලංකෙයි තමිල් අරසුකච්චි සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එකී පිළිගත් දේශපාලන පක්ෂ බවත්,එම මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනූ එජනිස ආණ්ඩු පිහිටුවා ඊළඟට වැඩි ආසන සංඛ්‍යාවක් දිනු එජාපය විපක්ෂය බවට පත්වූ බවත් එම ලිපියේ සඳහන්ය.

එහෙත් 2015 ජනාධිපතිවරණයේදී එජාප යෙන් අගමැතිවරයා තෝරාපත් කර ගනිමින් ආණ්ඩුව පිහිටුවා ගත් බවත්, එජනිස නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කැබිනට් මණ්ඩලයේ නායකත්වය දරන බවත්,එම පක්ෂයේ යම් පිරිසක් ආණ්ඩුවට එකතුවී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බවත් ලිපියේ කියැවෙයි.

එසේම එම මැතිවරණයෙන් ආසන 7ක් හිමිකර ගත් ප්‍රජාපෙ නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයක් දරණ බවත් එම ලිපියෙන් සිහිපත් කර තිබේ.

ඒ අනුව මෙම ක්‍රියාවලිය දෙස විධිමත්ව අධ්‍යයනය කරනු ලැබුවහොත් ආසන 14 ක් පවත්නා තමිල් අරසුකච්චි පක්ෂය  පාර්ලිමේන්තුවේ විපක්ෂය විය යුතු බවත්, ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් තමිල් අරසු කච්චි තම ලිපිය මගින් කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *