වාහන 400 ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ 07 දෙනෙකුට නඩු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට මූල්‍ය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඉන් වාහන 156 ක් පිළිබඳ නිශ්චිත තොරතුරු අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අතර ඇති රථවාහන බොහෝ ප්‍රමාණයක් සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ රථ වාහන වසර ගණනාවක් ප්‍රමාද වී ව්‍යාජ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හේතුවෙන් එම කාලසීමාවට අදාළව ද විශාල බදු මුදලක් රජයට අහිමි වී ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ඒ අනුව අදාළ වාහන අතරින් වාහන 07ක් අල්ලස් කොමිෂන් සභාව මගින් වර්තමාන අයිතිකරුවන්ගෙන් ලබාගෙන ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙසයි අධිකරණය විසින් නියෝග කර ඇත්තේ. 

ඒ අනුව අදාළ රථවාහන අතරින් වාහන  06ක් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව භාරයට ගෙන තිබෙනවා.

ඉන් වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට කටයුතු කර ඇතැයි ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.