ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ  ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු විය.

2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022 වසරේ සමස්ත නැගී එන අපනයනකරු’ යන ගෞරව නාමයෙන් සහ ‘Light Engineering’ අංශයේ කුසලතා සම්මානයෙන්   Alumex PLC පිදුම් ලැබූ අතර එමඟින් මෙම සමාගමේ විශිෂ්ටත්වය මෙන්ම නොසැලෙන කැපවීම පිළිබිඹු විය. එමෙන්ම 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේදී ‘යන්ත්‍රෝපකරණ සහ සැහැල්ලු ඉංජිනේරු අංශයේ’ රිදී පදක්කම ද Alumex PLC වෙත හිමිවීම සුවිශේෂී ජයග්‍රහණයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තය තුළ අඛණ්ඩ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය පිළිබඳව නව ප්‍රමිතීන් රැසක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කළා. නවීන තාක්‍ෂණය සහ තිරසාර භාවිතයන් වෙත නැඹුරුවීමේ අපගේ ක්‍රියාකාරී ප්‍රවේශය අන්තර්ජාතික වෙළෙඳපල තුළ  අපගේ මුද්‍රාව සනිටුහන් කරමින් දේශීය  අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා  දායකත්වය ලබාදීම කෙරෙහි හේතු වී තිබෙනවා .”

Alumex PLC සමාගම 2019 වසරේ සිට සිය උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන සමඟ ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රය තුළ නව අපනයන නිෂ්පාදන කාණ්ඩයක් ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.  පසුකාලීනව ඔවුන් අන්තර්ජාතික වෙළෙඳපල වෙතද සිය නිෂ්පාදන බෙදාහරිමින්  ජාත්‍යන්තර වෙළෙඳපල තුළ සිය සන්නාමය සාර්ථකව ගොඩනංවන ලදී.

Alumex PLC සතු උපායමාර්ගික දැක්ම සහ මෙහෙයුම් හැකියාව කැනඩාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර වෙළෙඳපල වෙත සිය නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක්   අපනයනය කිරීම කෙරෙහි ඉවහල් වී තිබේ. තවද , ඔවුන්ගේ උසස් නිෂ්පාදන සහ අඛණ්ඩ සේවාවන් ඔස්සේ උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන විසඳුම් අපේක්ෂා කරන කර්මාන්ත සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු බවට පත් වීමට ද Alumex PLC වෙත හැකියාව ලැබී ඇත.

Alumex PLC සතු මෙම ඉදිරි ප්‍රවේශය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමට මෙන්ම ඔවුන්ගේ අපනයන උපාය මාර්ග විවිධාංගීකරණය කරමින් ශක්තිමත් කිරීමටත් උපකාරී වන අතර එය ගෝලීය වෙළෙඳපල ජයගැනීම සඳහා නව මාර්ග ගවේෂණය කරන ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් වෙනුවෙන්ද මනා සැලැස්මක් සපයයි. පසුගියදින පැවැති වාර්ෂික හරිත සම්මාන ප්‍රදානෝත්සවයේදී තිරසාර නිෂ්පාදන සඳහා වූ රන් සහතිකය ද දිනාගැනීමට Alumex PLC සමාගම වෙත භාග්‍ය හිමිවුණු  අතර  තිරසාරභාවය පිළිබඳව  සමාගම දක්වන  කැපවීම ඒ තුළින් ඉස්මතු විය.එමෙන්ම  ආයතනික වාර්තාකරණය පිළිබඳ වූ CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී Alumex නිෂ්පාදන අංශය රිදී සම්මානයෙන් පිදුම් ලැබීමද සුවිශේෂී කරුණකි.

ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා තීරණාත්මක සන්දිස්ථානයක් වන ESG වෙත සමාගමේ අවධානය යොමු කිරීම පිළිබඳව අදහස් දක්වමින් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Hayleys සමූහ ව්‍යාපාරයෙහි ESG අභිලාෂයන් සහ 2030 වසර සඳහා වූ  මාර්ග සිතියම ප්‍රකාශ කරන Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්කයන්ට සමගාමීව  අපගේ ESG මාර්ග සිතියම ක්‍රියාකාරීව සංවර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.ඒ වගේම අපි මේ වන විට ASI සහතිකය ලබාගැනීම වෙනුවෙන්  ද කටයුතු සකස් කරමින් සිටිනවා. වන සංරක්ෂණ ක්‍රියාකාරකම්, තාරුණ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ අපගේ සේවකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයාබැලීම වැනි කටයුතු තුළින් පුළුල් සහභාගිත්වයක් ගොඩනැංවීම  සඳහා  අප කැප වී කටයුතු කරනවා.”

Alumex PLC සමාගම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ 2023 වසරේ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුපිරි රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ ‘Achiever of Industrial Excellence Awards 2023’ හිදී මෙන්ම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2023 හිදී ද ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය. එමෙන්ම 2023 වසරේ ජාතික සැපයුම් දාමයේ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ද දෙවන අනුශූරතාවයෙන් Alumex PLC පිදුම් ලැබීම නිසැකයෙන්ම ඔවුන්ගේ සාර්ථක ගමනේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

ප්‍රමුක් දැදිවෙල මහතා  තවදුරටත් මෙසේ සඳහන් කළේය. “අඛණ්ඩ සංවර්ධනයෙන් සමෘද්ධිමත් වන සේවක කණ්ඩායමක් ගොඩනැගීමට අපි නිරන්තරයෙන්  කැපවී සිටිනවා. මාසිකව අප පිරිනමන සේවක ඇගයීම් සම්මානයන්  අපගේ මෙහෙයුම් කණ්ඩායම්වල විශිෂ්ටත්වය හඳුනාගැනීම කෙරෙහි මනා පිටිවහලක් වන අතර අපගේ ‘වෙළෙඳ පරීක්ෂණය’ තුළින් තාක්ෂණික කුසලතා ශ්‍රේණියේ සේවකයින්ගේ හැකියාවන් සහතික කරනවා. ඒවගේම  ‘Speaker in You’ Toastmasters වැඩසටහන සහ Alumex නායකත්ව සංවර්ධන වැඩසටහන වැනි ප්‍රවේශයන් තුළින් අපගේ කණ්ඩායම් සාමාජිකයින් තවදුරටත් සවිබල ගැන්වීමට අප කටයුතු කරනවා.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *