ලොව පුරා පැතිර යන කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ඇත්දැයි සැකයක් – වෛද්‍ය අංශ සීරුවෙන්

ඉන්දියාව, බි්‍රතාන්‍ය ඇතුලු ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති ඔමික්‍රෝන් ඛාණ්ඩයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රජාව තුළ පවතින බවට තමන් අනුමාන කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

පසුගිය කොරෝනා සමයේ කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් සිදුකළ ප්‍රධානතම පර්යේෂකයාවූ මහාචාර්ය චන්දිම ජීවන්දර මෙම අදහස් පළ කර ඇත්තේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින්.

මේවනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පරීක්ෂණ සිදුකිරීම පවතින්නේ ඉතා අඩු මට්ටමකයි.

එබැවින් ශ්‍රී ලංකාව සිටින්නේ කුමන් තත්ත්වයකදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ.

එමෙන්ම මේවනවිට සමාජය තුළ ඉන්ෆ්ලුවන්සා වැනි රෝග වාර්තා වීම වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් නව කොවිඩ් උප ප්‍රභේදය වන ජේ එන් වන් වෛරසය මේවනවිටත් ශ්‍රී ලංකාව තුළ පවතින බව තමාගේ අනුමානය යැයි ඔහු පවසා තිබෙනවා.

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බැවින් මෙරට ජනතාව ද ඒ සම්බන්ධයෙව් අවධානයෙන් පසුවිය යුතු වනවා.

කොරෝනා වෛරසය සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ.

එබැවින් සංවෘත සහ ජනාකීර්ණ පරිසරයක වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, උණ, කැස්ස, ගඳ සුවඳ නොදැනීම, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, සහ වමනය වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද මහාචාර්ය චන්දිය ජීවන්දර ජනතාවට දැනුම් දෙනවා.

අවධානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් එම වෛරසය ආසාදනය වීමෙන් දැඩි ලෙස රෝගාතුර විය හැකියි.

එමෙන්ම හෘදයාබාධ, ආඝාත තත්ත්වයන් මෙන්ම මානසික ගැටළු ඇතිවීමේ අවදානම මෙන්ම ඒ හරහා දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් ද ඇතිවිය හැකි බව මහාචාර්ය චන්දිය ජීවන්දර යළි ජනතාවට සිහිපත් කරනවා. 

මීට පෙර පැවැති කොවිඩ් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කළ ශ්‍රී ලංකාව, නිරන්තර සූදානමින් පසුවන බැවින් රටේ සෞඛ්‍ය පද්ධතිය අවදානමක නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් වැඩිහිටි හෝ වෙනත් අවදානම් කාන්ඩවල පසුවන පුද්ගලයින් මෙන්ම ප්‍රතිශක්ති මට්ටම දුර්වල තත්ත්වයේ පසුවන පුද්ගලයින් පූර්ව සූදානමක් ලෙස මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසනවා. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ නව කොවිඩ් උප ප්‍රභේදය වන ජේ එන් වන් වෛරසය රට තුළට පැමිණීමේ අවදානමක් පවතින බවයි.

කෙසේවෙතත් වෛරසය මේ වන විටත් රට තුළට ඇතුලුවී ඇත් ද, නැතහොත් පැතිරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ හැකි නිල වාර්තා නොමැති බව ඔහු සඳහන් කළා.

එහෙත් මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *