කෝටි ගණන් ගැරූ බම්බලපිටියේ හොර ඩිප්ලෝමා කඩය අල්ලයි

දේශීය සහ විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවාගෙන මාර්ගස්ථ (ONLINE) ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින් ඩිප්ලෝමා සහතික නිකුත් කළ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් බම්බලපිටිය පොලිසිය මගින් වැටලීය.

බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේ EVOLVE COLLEGE OF EDUCATION මෙම ව්‍යාජ ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගිය අධ්‍යක්ෂවරිය ද ආයතනයට සිසු සිසුවියන් බඳවා ගැනීමට ක්‍රියා කළ උපදේශකවරුන් සහ ප්‍රවර්ධන නිලධාරීන් 5 දෙනෙකු ද බම්බලපිටිය පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් රැකියා සඳහා අවශ්‍ය කරන සහතික නිකුත් කර ඇති මෙම ආයතනය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 1,000කට ආසන්න පිරිසක් මෙම ආයතනයට රැවටී රැකියා සඳහා අවශ්‍ය ඩිප්ලෝමා සහතික ලබා ගැනීමට ආයතනයට විශාල වශයෙන් මුදල් ගෙවා ඇති බව ය.

දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන නියමිත ප්‍රමිතියෙන් තොරව මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර එක් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා පාඨමාලාවේ වර්ගය අනුව රුපියල් 100,000 සිට රුපියල් 445,000 දක්වා මෙම ආයතනයේ පාලනාධිකාරිය විසින් දිවයිනේ බොහෝ පිරිසකගෙන් මුදල් අය කරගනු ලැබ ඇති බව විමර්ශන නිලධාරීහු කියති.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවාගෙන මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වා නීත්‍යනුකූල අනුමැතියකින් තොරව මුදල් ලබාගෙන අධ්‍යාපනය ලබාදීමෙන් පසු මෙම ආයතනය මගින් එම අයැදුම්කරුවන්ට ව්‍යාජ ඩිප්ලෝමා සහතික ද නිකුත් කර ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.

මෙලෙස මුදල් එම ආයතනයට දී ලබා ගන්නා දේශීය සහ විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා සහතික ව්‍යාජ ඒවා බවට අනාවරණය වීමෙන් පසු එලෙස මුදල් වංචාවට හසු වූ පුද්ගලයන් 43 දෙනෙකු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

පසුව බම්බලපිටිය පොලිසිය මෙම ස්ථානය වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුව ද එම කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමකින් තොරව මෙම ආයතනය අනවසරයෙන් ව්‍යාජව පවත්වාගෙන ගොස් ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම වංචාවට හසුවූ පුද්ගලයන් 1,000කට මෙම ආයතනය මගින් විවිධ විද්‍යුත් මාධ්‍යයන් ද උපයෝගී කරගනිමින් රැකියා අවස්ථා ලබා දීම සඳහා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් දැන්වීම් පළ කරමින් තවදුරටත් මුදල් එකතු කිරීමේ කටයුතු එම ආයතනය වටලන විටත් සිදුව ඇති බව පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් අධ්‍යක්ෂවරිය නාරංගමුව, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තැනැත්තියකි. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී බම්බලපිටිය පොලිසියේ උසස් නිලධාරියෙකු කීවේ මෙම ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වයස අවුරුදු 25ක මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි.

මෙලෙස අධ්‍යාපන ඩිප්ලෝමා සහතික ලබා ගැනීම සඳහා පවත්වනු ලබන මාර්ගස්ථ අධ්‍යාපන වැඩමුළු සහ බඳවා ගැනීම් ගැන වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.