මිතුරියන් දෙදෙනෙක් සියදිවි නසා ගෙන

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක තිබී මිතුරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ, එම මළ සිරුරු ඊයේ (16) සොයා ගත් බවය.

ඔවුන් දෙදෙනා නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටිය දී මෙලෙස සොයාගෙන තිබේ.

එලෙස සියදිවි නසාගෙන ඇත්තේ අවුරුදු 17ක් වූ සුරේෂ් කුමාර් තනිකේ හා ලෝගේෂ්වරන් තමිලිනි යන මිතුරියන් දෙදෙනෙකි.

අදාළ මරණයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිළිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබේ.

කෙසේවෙතත් අදාළ දැරියන්ගේ මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්? යන්න සොයා පුළුල් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දැරියන් මියගොස් සිටි නිවසේ තිබූ ඔවුන් විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියක් ද සොයාගෙන ඇත.

එහි සඳහන්ව ඇත්තේ, “අපගේ මරණයන්ට කිසිවෙකුත් වගකිව යුතු නෑ. අපි ජීවත්වෙන්න කැමති නැති නිසා අපි මේ තීරණය ගත්තේ. මේක අපේ තීරණයක්. කවුරුවත් අපි ගැන දුක්වෙන්න එපා.අපි පවුලේ අයට හා යාළුවන්ට ගොඩාක් ආදරෙයි. සමාවෙන්න. සුබ ගමන්…” යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.