සිව් දෙනෙකුට මරු කැඳවූ තඹුත්තේගම රිය අනතුර

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද(04) අලුයම වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබිණි.

අනතුරින් තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා සිටි තවත් පුද්ගලයෙකු අද පෙරවරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළෙඳසලක් අසල නතර කිරීමට යාමේ දී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් එහි පිටුපස බඳ කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ පුද්ගලයින් 08 දෙනෙකු අදාළ වෑන් රථයේ ගමන් කර තිබූ අතර, ඒ අතර සිටි අවුරුදු 36ක, 46ක සහ 55ක පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ අවුරුදු 36ක සහ 43ක කාන්තාවන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.

අනතුරින් තුවාල ලැබූ අවුරුදු 11ක හා අවුරුදු 06ක පිරිමි ළමුන් දෙදෙනෙකු මෙන්ම 08 හැවිරිදි දැරියක් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හා අධික වේගය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව තඹුත්තේගම පොලීසිය පවසයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *