තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි

තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියන් පවසනවා.

පසුගිය දා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් නැවත මිල සංශෝධන කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා යන සමාගම් පියවර ගත්තා.

කෙසේවෙතත් තිරිඟු පිටි සමාගම් දහය අතරින් සමාගම් 2ක් පමණක් මෙලෙස තිරිඟු පිටි මිල අඩු කර ඇති අතර එය අදාල සමාගම් ලබා දෙන්නේ වට්ටමක් ලෙසට බවයි ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

ඒ අනුව අදාළ සමාගම් විසින් ඕනෑම අවස්ථාවක එම තීරණය වෙනස් කළ හැකි බවට ද එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

එම නිසා නැවත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 30කින් හෝ අඩු විය යුතු බවයි එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ.