දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර

මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මේල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය.

තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු සහ පාකිස්තාන ජාතික තරුණයෙක් මහනුවර සිට මගී ප්‍රවාහන බස්රථයකින් දඹුල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී තිබේ.

අදාළ බස් රථයේ මඟීන් තිදෙනෙකුට ගමන් කළ හැකි අසුනක තුර්කි  ජාතික තරුණියන් දෙදෙනෙකු අසුන්ගෙන සිට ඇති අතර අනෙක් තරුණයා සහ තරුණිය මඟීන් දෙදෙනෙකුට අසුන් ගත හැකි අසුනක වාඩීවී සිට තිබේ.

අතරමඟදී බස් රථයට ගොඩවූ අත්අඩංගුවේ පසුවන තරුණයා මෙම විදේශීය තරුණියන් දෙදෙනා වාඩිවී සිටි අසුනේ වාඩිවී ගමන් කර ඇත.

එහිදී තුර්කි ජාතික එක් තරුණියකට බස් රථය තුළදී නින්ද ගොස් තිබේ.

එහිදී නිදා සිටි තරුණියගේ ශරීරය ස්පර්ශ කරන අයුරු දුටු අනෙක් තරුණිය වහාම එම ස්ථානයෙන් ඉවත්වී ඔවුන් සමග පැමිණි තරුණයාට ඒ බව දැනුම්දී ඇත.

එහිදී වහාම ක්‍රියාත්මකවී ඇති පාකිස්තාන ජාතික තරුණයා බස් රථයේ සිටි තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව අදාළ තරුණයාව අල්ලාගෙන තිබේ.

ඒ අනුව සැකකරුව දඹුල්ල පොලීසියට භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණි.

මෙම අතවරයට ලක්වී ඇති තරුණිය තුර්කි පොලිසියේ සේවය කරන උසස් නිලධාරියෙකුගේ දියණියක් බවත් අනෙක් තරුණිය එරට ගුරුවරියක් බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරමින් මෙම තරුණියන් ප්‍රකාශ කර ඇත්තේ, විදේශීය සංචාරකයින්   පමණක් නොව ශ්‍රී ලාංකික කාන්තාවන්ට ද මෙවැනි හිංසා නොවිය යුතු බවත් හිංසා කරන අයට උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය. ඔවුන් මේ බව ජාත්‍යන්තරයට පවා දැනුවත් කිරීම් සිදුකරන බවද පවසා ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *