2023ට මේ වන විට අනතුරු 1126යි: මරණ 1192යි

මේ වර්ෂයේ (2023) ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 1192කු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ‘මව්බිම’ට පැවසීය.

වසර ආරම්භයේ සිට ජූලි 9 වන දා දක්වා කාලය තුළ පමණක් මෙතරම් පිරිසක් රිය අනතුරුවලින් මියගොස් ඇත්තේ රියැදුරන්ගේ අතින් සිදුවන වැරදි හේතුවෙන් යැයි හෙතෙම කීය.

අදාළ කාලය තුළ මාරක රිය අනතුරු 1126ක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. පොලිසියට වාර්තා වන රිය අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේදී ඒවාවලින් බහුතරයක් රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නක් බව ද ඔහු පැවසීය.

ඉතා පටු මාර්ගවල අනාරක්ෂිත ආකාරයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් අනතුරු කිහිපයක් පසුගිය දිනවල වාර්තා වුණු බව ත් තවත් බොහෝමයක් රිය අනතුරු මාර්ග නීතිවලට අනුගත නොවීම හේතුවෙන් සිදුව ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන සියලු දෙනා මාර්ග නීති අනුව කටයුතු කරන්නේ නම්, රිය අනතුරු හා රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *