තැන තැන මතුවෙන හොර සල්ලි

රුපියල් 5,000  ව්‍යාජ මුදල් නෝට්ටු 23ක් සමග සැකකරුවන් තිදෙනෙකු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අකුරැස්ස නගරයේදී  ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයෙකු තැත් කරන බවට අකුරැස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි අකුරැස්ස මාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙක් ව්‍යාජ 5,000 මුදල් නෝට්ටු 3ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුට වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

ඒ අනුව තව මුදල් ඇත්නම් රැගෙන එන ලෙස අත්අඩංගුවට ගත් සැකකරු ලවා එම පුද්ගලයින්ට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

දුරකථන ඇමතුමට අනුව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 20 රැගෙන පැමිණි ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය විසින් එම පුද්ගලයින් දෙදෙනා     අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අවුරුදු  33 හා 25 යන වයසේ පසුවන අහංගම පොලිස් වසමේ පදිංචි කම්කරුවන් දෙනෙකු බවත්
⁣ව්‍යාජ මුදල් නෝට්ටු  ළඟ තබා ගැනීම සහ මුදල් සංසරණයට යෙදවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරන බව පොලීසය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ⁣මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මින් පෙර අවස්ථා දෙකකදී අකුරුස්ස නගරයේදී මෙලෙසම ව්‍යාජ 5,000 නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කිරීමේ දී පුද්ගලයින් දෙදෙනෙකු ව්‍යාජ නෝට්ටු 7ක් සමග අත්අඩංගුවට පත්ව තිබුණි.

අකුරුස්ස හා අහංගම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දකුණු පළාත තුළ ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු සංසරණයට යොදවා ඇති බවට මේ වන විට සිදුකළ මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බැවින් දකුණු පාළාතේ ජනතාව රුපියල් පන්දහසේ නෝට්ටු භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය පවසයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඊයේ (28) දහවල් කාලයේ ගම්පහ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේ දී ද ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 6ක් හා රුපියල් 50 ව්‍යාජ මුදල් නෝට්ටු 17ක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් පුද්ගලයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සන්තකයේ තිබී රු 500 ව්‍යාජ නෝට්ටු 12ක් ද මුදල් මුද්‍රණයට යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 28 යන වයස්වල පසුවන පෙතියාගොඩ සහ කිරිඳිවිට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (29) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *