එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිරි නැමති 34 හැවිරිදි එක්දරු පියෙක් ජීවිත්කෂයට පත්වුණි.

එම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් එදිනම අත්අඩංගුවට ගත් අතර, අනෙක් සිසුවා පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලීසිය පවසයි.

14 වැනි දා යතුරුපැදියකින් නිවස ආසන්නයේ වූ වෙළෙඳසැලට ගොස් එමින් සිටි විරාජ් යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන්ට සිදුකළ අවවාද කිරීමක් මත බහින්බස්වීමක් හටගෙන තිබේ.

පසුව සිසුන් විසින් ආරක්ෂක හිස් වැසුම්වලින් විරාජ් ට පහරදී ඇතැයි සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව හෙළි වී ඇත.

බරපතළ තුවාල ලැබූ විරාජ් රෝහල්ගත කිරීමත් සමග පාසල් සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳසැලක සැඟව සිටි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගැනීමත් සමග ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිිස් නිලධාරීයෙක් පැවසීය.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටපත් සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාකොළ ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් පහරකෑමෙන් අවාසනාවන්ත ජීවිතය හැර ගිය රංග විරාජ් ජයසිරි පෞද්ගලික ආයතනය සේවය කරන අයෙකි. ඇගේ බිරිඳ වෘත්තියෙන් ගුරුවරියකි.

මාස 11ක පුංචි සිඟිත්තියකගේ දරු සුරතල් විඳිමින් සිටි රංග, ගමේ කාගේත් අතර හිත දිනාගත් අයෙකි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *