මේ අර්බුදය උග්‍ර වුණේ හිටපු ජනපතිට ලැබුණු වැරදි උපදේශ නිසා

ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ 8.3%ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (පෙබ. 7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

අදායම් ලබා ගත් මාර්ග ඉකුත් කාලය තුළ ක්‍රමානුකූලව ඉහළ නංවාගෙන නොමැති බව ද ඔහු එහිදී පැවසීය.

කැබිනට් ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ, “ඒ වෙනුවට ලැබුණු වැරදි උපදෙස් මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය සේවකයින් මත පනවා තිබුණු බදු සියල්ල අඩු කළ” බව ය.

“එදිනෙදා දරන වියදම පියවා ගන්න ආණ්ඩුවට ප්‍රමාණවත් ආදායමක් දීර්ඝ කාලීනව ලැබිලා නැහැ කියලා මම පැහැදිලිව ප්‍රකාශ කළා. ගිය වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3ක් තමයි රාජ්‍ය ආදායම ලෙස ලැබී තිබෙන්නේ. ලෝකයේ අනෙක් රටවල දත්ත පරීක්ෂා කළා ම ඒ සෑම රටක ම පාහේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1/5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජයේ ආදායම ලෙස ලැබෙනවා. අපි ආදායම් ලබා ගත්ත මාර්ග පසුගිය කාලය තුළදී ක්‍රමානුකූලව ටිකෙන් ටික වැඩි කරගෙන ඇවිල්ලා නැහැ.

ඒ වෙනුවට ලැබුණු වැරදි උපදේශයක් මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය සේවකයින් මත පනවලා තිබ්බ බදු ඔක්කො ම අඩු කළා. ඉපැයුම් බද්ද අඩු කළා. ඒ අවස්ථාවේදී විපක්ෂයෙන් ලැබුණු චෝදනාව තමයි කවුරුත් ඉල්ලා නොසිටි බදු අඩු කිරීම් කරලා මේ මුදල් අමාත්‍යවරයා රට ඉතා ම ව්‍යසනයට ගෙනිච්චා කියන එක තමයි එදා තිබුණේ. රජ්‍ය සේවකයන්ගේ උපයන විට අය කරපු බද්ද ඉවත් කළා ම රට ඇතුළේ විශාල විරෝධයක් ඇති වුණා. ඒ සියල්ල ම අර්බුදය උග්‍ර වෙන්න හේතුවක් වෙලා ආදායම වැටුණට පස්සේ අපි ජාත්‍යන්තර අරමුදලේ සාමාජිකයෙක් ලෙස අන්තර්ජාතික ගනුදෙනු පියවීම සඳහා ඔවුන් සමග මේ ඇති වෙච්ච තත්ත්වය නිරවුල් කර ගන්න ගිවිසුම් සම්බන්ධතාවක් ඇති කර ගන්නට ඕන.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *