නොමිලේ දෙන බස්-ත්‍රීවීල් පාසල්වලට බරක් වෙලා

දේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති.

මෙම බස් රථ සඳහා ටයර්, සර්විස්, ආදායම් බලපත්‍ර මෙන් ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැනීමට දරුවන්ගෙන් අය කරන පහසුකම් ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බව ද ඔවුහු පවසති.

මේ වන විට පොතපත හා පාසල් උපකරණ පවා ගැනීමට මවුපියන්ට අසීරු වී ඇති අවස්ථාවක එම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද විදුහල්පතිවරු කියති.

එලෙස ලබාදුන් බස් රථ අධ්‍යාපන කටයුතුවලට අමතරව දේශපාලනඥයන්ගේ රැස්වීම් සඳහා පාක්ෂිකයන් ප්‍රවාහනයට යොදාගෙන ඇතැයි ද දේශපාලකයන් ලබාදුන් බස් රථ හේතුවෙන් එලෙස ඉල්ලීම් කරන අවස්ථාවන්වලදී බස් රථ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බව ද විදුහල්පතිවරයෙක් සඳහන් කළේ ය.

මේ පිළිබඳව හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමකදී උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බස් රථ පාසලට ලබා දීමට පෙර එම දේශපාලනඥයන් විසින් නඩත්තු වියදම් පාසලෙන් දැරිය හැකි ද යන්න විදුහල්පතිගෙන් විමසා මෙලෙස බස් රථ සහ ත්‍රිරෝද රථ ලබා දී ඇති බව ය.

එම බස් රථ සහ ත්‍රිරෝද රථ අවසර ලබාගෙන හන්දිවල හයර් කිරීමට යොදාගත හැකි බව හෙතෙම සඳහන් කළ අතර කෙසේ වෙතත් එලෙස කිරීම විදුහල්පතිවරුන්ට අමතර බරක් බව ද ඔහු සඳහන් කළේ ය.

සමහර පාසල්වලට ලබාදී ඇති ත්‍රිරෝද රථ විදුහල්පතිවරුන්ගේ නිවාසවල තබාගෙන ඇති බවත් සමහර ත්‍රිරෝද රථ නඩත්තු නොකිරීම හේතුවෙන් දිරාපත් වෙමින් පවතින බව ත් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය විය.

එමෙන් ම, පාසල්වලට ලබාදුන් සමහර බස් රථ එක ම ස්ථානයක වසරකටත් වඩා වැඩි කාලයක් කිසිදු කටයුත්තකට යොදා නොගෙන ගාල් කර ඇති බව ත් සමහර බස් රථවලින් ගුරුවරුන් පෞද්ගලික උත්සව සඳහා සහභාගි වීමට පමණක් යොදාගෙන ඇති බව ත් අනාවරණය විය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *