සිසු සැරියෙන් බැස්ස එක වසරේ සිසුවිය එම බසයට ම බිලි

පාසල් නිම වී සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යට වී අවාසනාවන්ත ලෙස ඊයේ (ජන. 24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පැවසීය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අළුත්ගම, ගම්බිරිස්වැව ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි දැරියකි.

අළුත්ගම, දරුසලාම් මුස්ලිම් විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය පාසල නිම වී බස් රථයෙන් පැමිණ බස් රථයෙන් බිමට බසින අවස්ථාවේදී ඇද වැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

බස් රථයේ පිටුපස රෝදයට යට වී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කළේ ය.

බස් රථයෙන් දැරිය බිමට බසින අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එක් වර ම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව ද පොලිසිය කීය.

අනතුරෙන් පසු බස් රථයේ කොන්‍ෙදාස්තරවරයා සහ රියැදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එල්.සී. සිරිකාන්තගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *