අභිජනනය කළ බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කළ බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

දැනට රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන් ම වාර්ෂිකව අවශ්‍ය වන මව්සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වීම බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, සෑම වර්ෂයක ම මව් සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන් ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපා ඇති බව ය.

මේ හේතුවෙන් මව් සතුන් ආනයනය කළහොත් බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ආනයනය කිරීමට තීරණය කර ඇත.

මේ වන විට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊට අවශ්‍ය මූලික කටයුතු සකස් කර තිබෙන බව ත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින මිරිස්වත්ත හා මාරවිල ගොවිපොළවල පිහිටි අභිජනනාගාර දෙක උපයෝගි කර ගනිමින් ආනයනය කෙරෙන අභිජනනය කරන ලද බිත්තර මගින් මව් සතුන් ලබා ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ත් කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පැවසීය.

අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා පුද්ගලික අංශයේ ආයතන සඳහා පැවරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් සංවර්ධන අංශය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පහසුකම් සපයනු ලබනු ඇත.

රටේ වාර්ෂික බිත්තර අවශ්‍යතාව මිලියන 2990ක් පමණ වන අතර මාසිකව බිත්තර අවශ්‍යතාව මිලියන 249-250 අතර ප්‍රමාණයකි.

කෙසේ නමුත් මේ වනවිට එය මිලියන 30 දක්වා පහත වැටී තිබේ.

මෙම අභිජනනය කරන ලද බිත්තර පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම ආනයනය කළහොත් ලබන මැයි හා ජූනි මාස වනවිට මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වෙතැයි පශු සම්පත් සංවර්ධන අංශය භොරව කටයුතු කරන නිලධාරීන් පෙන්වා දී ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *