දුම්රිය අධිකාරියක් කරනවා

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වඩා ත් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සැපයීම සඳහාත් දෙපාර්තමේන්තුවක් ලෙස දැනට පවතින නොවිසඳුණු ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ත් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම තුළින් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකළ හැකි බව මෙහිදී ප්‍රකාශ විය.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිතිවල අදහස් ද ලබා ගනිමින් සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු සුබසාධන කටයුතුවලට බලපෑමක් ඇති නොවන අයුරින් එම කටයුතු සිදුකිරීමට සැලසුම් කෙරේ.

නමුත් කිසිසේත් ම දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමක් නොකරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

“පෞද්ගලික අරමුණුවලින් තොරව මගී ප්‍රවාහනය මූලික කර ගනිමින් ඉදිරි සංවර්ධන කටයුතුවලට අවධානය යොමු කිරීම මේ අවස්ථාවේ ඉතාමත් වැදගත්. එසේ ම ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේ අදහස් ලබාගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම” පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි වෘත්තීය සමිති නියෝජිතයෝ ද පවතින බොහෝ ගැටලු නිරාකරණය කිරීම සඳහාත් ආයතනයේ දියුණුව සඳහාත් මෙය ඉතාමත් ඵලදායී පියවරක් වනු ඇති බවට සිය ප්‍රසාදය පළ කළහ.

මෙම අවස්ථාව සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති හා රියැදුරු යන වෘත්තීය සමිතිවල නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *